මේ රට පාලනය කරන්නේ ආඥාදායකයකු හෝ ඒකාධිපතියකු හෝ රජ කෙනෙකු නොවන බවත් ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන කුළුණු 3 මත පදනම්ව සංවරණ සහ තුලනය හරහා රට ක්‍රියාත්මක වුවත් ක්‍රීඩා ඇමතිවරයාගේ බලතල කප්පාදු කරන කැබිනට් තීන්දුව හරහා ක්‍රීඩා ඇමතිවරයා සතු නීත්‍යානුකූල බලතල පළුදු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ක්‍රීඩා ඇමතිවරයා හෘද සාක්ෂියට එකඟව ක්‍රිකට් සම්බන්ධයෙන් යම් තීන්දු තීරණ ගත් බවත් එවැනි පසුබිමක් තුළ ඔහුට දැන් ව්‍යාජ චෝදනා එල්ල කරමින් ආණ්ඩුවෙන්ම ක්‍රීඩා ඇමතිවරයාට එරෙහිව මඩ ගැසිමේ කටයුත්තක් සිදු වන බවත් මෙවැනි මඩ ව්‍යාපාර සිදු නොකර සැබවින්ම ක්‍රිකට්වලට ආදරේ නම් වෝහාරික විගණනයක් ක්‍රිකට් සම්බන්ධයෙන් සිදු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ක්‍රීඩා ඇමතිවරයාගේ බලතල කප්පාදුව සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳ අද (27) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

1973 අංක 25 දරණ ක්‍රිඩා පනතේ 32 සහ 33 වගන්ති දෙක හරහා ක්‍රීඩා ඇමතිවරයාට අන්තර්වාර කමිටු සහ නිසි බලධාරීන් පත් කිරීමට බලය ලැබුණත් 2023 නොවැම්බර් 22 කැබිනට් තීරණ තුළින් එම බලතල කප්පාදු කර ඇති බවත් එතැන් සිට එවැනි අන්තර්වාර කමිටු පත් කරනවා නම් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු බවට තීරණය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්‍රීඩා පනතෙන් ලැබුණු බලය අනුව ක්‍රීඩා ඇමතිවරයාට තීන්දු තීරණ ගැනීමේ හැකියාව සහ එතුමාගේ බල සීමාව තුළ කටයුතු කළ හැකි වුවත් මෙවැනි කැබිනට් තීන්දු හරහා එයට බලපෑම් එල්ල වන බවත් මෙම කැබිනට් තීන්දුව දෙස බලන විට සත්භාවයෙන් එය ක්‍රියාත්මක වූ ක්‍රියාවලියක් නොව නරක අදහසකින් ක්‍රියාත්මක වූ දෙයක් බව පෙනී යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අන පණත්වලින් රටේ නීතියෙන් ක්‍රීඩා ඇමතිවරයාට ඇති බලය පලුදු කරන්න කැබිනට් එකට හැකිද කියා ප්‍රශ්න කළ සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ කැබිනට් එකට හැකියාව ඇත්තේ පනත සංශෝධනය කිරීමට මිස අයුතු බලපෑම් කිරීමට නොවන බව යි. නීතිය වෙනස් කර නිත්‍යානුකූලව පවා ක්‍රීඩා ඇමතිවරයාගේ අයිතිය කප්පාදු කරනවාට තමා විරුද්ධ බවත් මේ ආකාරයෙන් ක්‍රීඩා ඇමතිවරයාගේ බලතල බාල්දු කිරීමට ඉඩ දිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.