එක රටක් – එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් කිසිසේත්ම නොගැලපෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

“මං අද දැක්කා පත්තරේ තියෙනවා ඥානසාර හාමුදුරුවෝ කියනවා මේ කාර්ය සාධක බලකාය හරහා එයාට අවස්ථාවක් ලැබුණාලු මේ රටේ තියෙන ජාතික ප්‍රශ්නය ගැන එයාගෙ තියෙන දර්ශනය ඉදිරියට ගෙනියන්න. අපි දන්න විදියට උන්වහන්සේට තිබුණ දර්ශනය – අපි සිවුරට ගරු කරනවා, නමුත් ඇත්ත කියන්න ඕනෙ – උන්වහන්සේට තිබුණ දර්ශනය ජාතිවාදය. මේ රටේ සිංහල – මුස්ලිම් ජනතාව අතර ඇතිවුණ නොයෙක් හිත් අමනාපකම් සැකසංකා ඒවාට වගකියන්න ඕනෙ පරිසරයක් උන්වහන්සේ ගොඩනැඟුවා යම්කිසි අවස්ථාවක. එතකොට ඒ දර්ශනය ගෙනියන්න බෑ මෙම කාර්ය සාධක බලකාය හරහා. මේ කාර්ය සාධක බලකාය හරහා ජනාධිපති බලාපොරොත්තු වෙනවා නම් ඒ ඒ ජාතීන්ට අදාළ සම්ප්‍රදායික නීති එක තැනකට ගේන්න, ඒක එතුමාගේ බලාපොරොත්තුව වෙන්න පුළුවන්. නමුත් ඒකට තෝරාගත්ත චරිත හරිද කියන එක ගැන අපට ප්‍රශ්නයක් තිබෙනවා.

එහෙම නම් ඒ කාර්ය සාධක බලකායෙ අනිවාර්යයෙන්ම ද්‍රවිඩ නියෝජනයක් තියෙන්න ඕනෙ. මැලේ, බර්ගර් වගේ නියෝජනයක් තියෙන්නත් තිබුණා. වැඩියෙන්ම ඉන්න ඕනෙ අනිවාර්යයෙන්ම සදාචාර සම්පන්න, හොඳ පසුබිමක් තියෙන, හොඳ අතීතයක් තියෙන කට්ටිය. ඉතිං කණගාටුවෙන් වුණත් කියන්න ඕනෙ ඥානසාර හාමුදුරුවොන්ගෙ පසුබිම බැලුවාම – අපට අනිවාර්යයෙන්ම ඒවා අමතක කරන්න බෑ – ඒ පසුබිම අනුව මට මගේ හෘදසාක්ෂියට තේරෙන්නෑ උන්වහන්සෙ මේ වැඩේට ගැලපෙනවා කියලා. ඒක මට කණගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා. සංඝයා වහන්සේ නමකට මේක බාරදෙනවා නම් – මේ රටේ බහුතර සහ ප්‍රබලම ජාතිය බෞද්ධ නිසා – එහෙම නම් නාමයෝජනාවක් ඉල්ලා ගන්න තිබුණා මහනායක හාමුදුරුවරුන්ගෙන්. ඒ හරහා ඔය නාමයෝජනාව ලබාගන්න තිබුණා. එහෙම වුණා නම් කවදාවත් ඔය වගේ චරිත ඉදිරියට නොඑන්න තිබුණා”

සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ (02) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.