නලින් බංඩාර මහතා විසින් ආර්ථික ක්ෂේත්‍රයේ විවාදයකට එන්න කියා සහෝදරයන්ට අභියෝග කළ අවස්ථාවේ ආර්ථික විශේෂඥයන්ගේ විවාදයෙන් ⁣සහෝදර වරු පැන ගොස් නායකයන් අතර විවාදයකට එන්න කියා නැවත අභියෝග කර ඇති බවත් මැයි මාසය තුළ මේ විවාද දෙකටම සමගි ජන බලවේගය සුදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආර්ථික විශේෂඥයන් මෙන්ම නායකයෝ අතර විවාද දෙකටම සුදානම් බවත් මින් පැන නොයන ලෙසත් මේ අභියෝග දෙකම බාර ගන්නා ලෙසත් නිවටයෝ ලෙස පැන නොයන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 163 වැනි අදියර යටතේ අද හම්බන්තොට වීරකැටියේ ඕකන්දයාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ අමතර වියදම් වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

ආර්ථික විශේෂඥයන් අතර විවාදය බැහැ කියන්නේ ඔවුන්ගේ ආර්ථික විශේෂඥයන්ට වැඩ බැරි නිසා ද කියා ගැටලුවක් පවතින බවත් එම නිසා ලිපි හරබ නොකර මැයි මාසයේ විවාද දෙකම කිරිමට එන ලෙසත් වාද විවාද පවත්වනවා සේම ඊට පෙර කයිය වගේම වැඩක් කර පෙන්වන ලෙස යෝජනා කරන බවත් රටට අවශ්‍ය කයිය නායකයෝ නොව වැඩ කරන නායකයෝ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට කයිය බොරුව සෝබනය ඔලුගෙඩි විජ්ජා එපා වී ඇති බවත් කතාවට මෙන්ම වැඩටද සමගි ජන බලවේගය සුදානම් නිසා බය නැතිව එන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

භාෂා ගැටලුව නිසා විරැකියාව වැඩි වෙලා

සිංහල පමණයි දමිළ පමණයි කියන අය කරන්නේ තමන්ගේ ඡන්ද මල්ල පුරවා ගැනීම මිස අධ්‍යාපනය දියුණු කිරීම නොවන බවත් මේ නිසා පාසලින් විශ්වවිද්‍යාලයෙන් පිටවන දරුවා රැකියා නොමැති විරැකියා පෝළිමට එකතු වන බවත් මේ ක්‍රමය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාසල් අධ්‍යාපනය තුළ ව්‍යවසායකයන් බිහි කිරීමේ දැනුමද ලබා දිය යුතු බවත් අධ්‍යාපනය කරන ගමන් ව්‍යවසායකයන් බිහි කිරීමේ දැනුම ලබා දී ව්‍යවසායකයන් මිලියනයක් බිහි කළ යුතු බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය කාරක ප්‍රග්ධනය, ප්‍රග්ධනය,සම්පත්, දරාගත හැකි පිරිවැයකට මූල්‍ය ප්‍රවේශය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ අරමුණ ඩිජිටල් ශ්‍රී ලංකාවක් නම් තොරතුරු තාක්ෂණ විෂය 1-13 විය යුතු බවත් එය යම් ප්‍රමාණයකින් පෙර පාසල තුළත් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ රටේ අධ්‍යාපන ක්‍රමය දින 7ම දවස් 365ම කටපාඩම් අධ්‍යාපනය බවත් ඉන් දරුවන්ට රටට අනාගතයක් නොමැති නිසා අධ්‍යාපනයේ වෙනස සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 163 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1785ක් වැය කර තිබේ.