උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීම මූලික කරගත් ද්විපාර්ශවික එකඟතා කිහිපයකට එළඹීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා අද (24) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර ඒ සඳහා කොළඹ මාර්ග කිහිපයක දැඩි ආරක්ෂාවක් යෙදවීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරන්නේ අද (24) පස්වරු 2 සිට 3 දක්වා කාලය තුළ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වසා තැබෙන බවත් එම කාලය තුළ අධිවේගී මාර්ගයේ සිට පෑලියගොඩ, ඔරුගොඩවත්ත මංසන්ධිය, දෙමටගොඩ, බොරැල්ල, ඩී එස් සේනානායක මංසන්ධිය, හෝටන් පෙදෙස, හෝටන් වටරවුම, ග්‍රීන් පාත්, පුස්තකාල වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, ආර් ඒ ද මැල් මාවත, ශාත්න මයිකල් පාර, ගාලු පාර සිට කොටුව දක්වා වූ මාර්ගයත්, හිල්ටන් හෝටලය දක්වා වූ මාර්ගයත් මෙම කාලය තුලදී වසා තැබීමට කටයුතු කරන බවයි.

මිට අමතරව පස්වරු 3.30න් පසුව කොළඹ ලෝටස් වටරවුම වසා තැබෙන අතර පස්වරු 6 සිට 6.30 දක්වා වූ කාලය තුළ ජනාධිපති කාර්යාලයේ සිට ගාලු පාර ඇතුලු මාර්ග කිහිපයක් වසා තැබීමට කටයුතු කරන බවත් නැවතත් රාත්‍රී 7.30 න් පසුව කොටුව ජනාධිපති මන්දිරය දක්වා මාර්ගය වසා තැබෙන අතර රාත්‍රී 9.30 න් පසු කොළඹ කොටුව සිට NSA වටරවුම ගාලුපාර, ඇතුළු මාර්ග කිහිපයක් වසා තැබෙනු ඇති බවත් රාත්‍රී 9.30 සිට 10.30 දක්වා කටුනායක අධිවේගී මාර්ගය වසා තැබීමට පියවර ගන්නා බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

හෙට උදෑසන 9.30 සිට 11 දක්වා යම්කිසි කාලසීමාවක් දක්වා කොටස් වශයෙන් මත්තල සිට උමා ඔය දක්වා වූ මාර්ගය වසා තැබෙන බවද එසේම දහවල් 12 සිට පස්වරු 1 දක්වා කාලය තුළද එම මාර්ගය නැවත වසා තැබෙන අතර මත්තල ගුවන්තොටුපොළ අවට විශේෂ ආරක්ෂාවක් යොදවන බවද පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඊශ්‍රායල් පලස්තීන යුද්ධය මූලික කරගත් ගෝලිය යුධ උණුසුම මේ වන විට මැදපෙරදිග කලාපය තුලත් පැතිරෙමින් තිබෙන අතර මෙම කාලවකවානුවේදී ඉරාන ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට ලෝක බලවතුන්ගේ විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඇ.ඩොලර් බිලියන 10 ක් අරමුණු කරගත් පකිස්ථානයේ සංචාරයකින් අනතුරුවයි.

2008 වසරේදී ආරම්භ කළ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කයන් තුනක් තුළ ප්‍රගතියක් අත්කරදීමේ අරමුණින් සකස් කළ උමා ඔය ව්‍යාපෘතිය අද ජනතා අයිතියට පත්වනවා. ඒ සදහා වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහ ඒ වෙනුවෙන් ණය ලබාදීමට එකග වූ පැරණිතම ශ්‍රී ලාංකික මිතුරකු වූ ඉරානයේ ජනාධිපති ඊබ්‍රහිම් රයිසි දිවයිනට පැමිණ තිබෙනවා.

උමා ඔය ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු ගත මුදල ඇ.ඩොලර් මිලියන 514 ක් වේ. ව්‍යාපෘතිය මගින් දිනකට මෙගාවොට් 120 ක පුනර්ජනනීය විදුලියක් නිපදවෙන අතර එමගින් වාර්ෂිකව රු.බිලියන 2.9 ක මුදලක් රටට ඉතිරි කරයි. තවද ව්‍යාපෘතිය මගින් වාරිමාර්ග 115 ක් පෝෂණය කරන අතර හෙක්ටයාර 4500 ක් අලුතින් අස්වැද්දීමට අවශ්‍ය ජලය දෙකන්නය පුරාම සපයනු ලබන අතර පැරණි ගොවිබිම් හෙක්ටයාර 1500 කටද ජලය සපයනු ලබනවා. බණ්ඩාරවෙල, බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කයන්හි ජනතාවට මෙමගින් පානිය ජල මූලාශ්‍රයන් ද සපයනු ලබනවා.

2015 වසර තුල වාදක්කතයුථු නිමකිරිමට තිබූ මෙම ව්‍යාපෘතිය ඉරානය වෙත සම්බාධක පැණවීමත්, රට තුළ වූ දේශපාලන තත්වයන් මත මෙම ව්‍යාපෘතිය අතරමග ඇණහිටුණු අතර ඉරානය විසින් ව්‍යාපෘතිය සදහා ඇ.ඩොලර් මිලියන 450 ක් ණයක් ලෙස යෙදවීමට සිටි අතර සම්බාධක පැණවීම නිසා  ඇ.ඩොලර් මිලියන 50 ක ණයක් පමණක් ලක් රජය වෙත හිමි වූ බැවින් ඇ.ඩොලර් මිලියන 464 ක මුදල භාණ්ඩාගාරය මගින් යෙදවීය. ඒ අනුව මෙම ව්‍යාපෘතිය කල්ගියද 90% ක මුදල් ලාංකිකයන්ගේ මුදලින් සිදුකිරීමට හැකියාව ලැබී ඇත.

කෙසේවෙතත් ඉරානය සහ ඊශ්‍රායලය අතර පසුගියදා යුද ගැටුම් ඇවිලුණු හෙයින් ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකාවේ සංචාරය සදහා ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ විරෝධතා පැවතියද ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව විසින් ඉරාන ජනාධිපතිවරයාගේ පැමිණීම වැළැක්වීමට උත්සහ නොගත් අතර ජනාධිපතිවරයාගේ ආරක්ෂාව කෙරෙහි විශිෂ්ඨ සැලකිල්ලක් දැක්වීමට තීරණය කළේ ඉහත කී ආකාරයෙන් ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපති ආරක්ෂක බලකායන් සහ කමාන්ඩෝ භටයන් යෙදවීම තුළිනි.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ශ්‍රී ලංකාව වෙත පැමිණෙන්නේ තෙදින පාකිස්තාන සංචාරය අවසන් කිරීමෙන් අනතුරුවයි. ඉරාන ජනාධිපතිවරයා පාකිස්තාන සංචාරය අතරතුර ද්විපාර්ශවීය ගිවිසුම් 8 කට අත්සන් කරන ලද අතර ඒවා අතරට ආරක්ෂක ගිවිසුම්, දේශපාලනික ගිවිසුම්, චිත්‍රපට සහ සන්නිවේදන ගිවිසුම් සහ වාර්ෂිකව ඇ.ඩොලර් බිලියන 10 ක ආර්ථික සහයෝගීතාවක් වර්ධනය කරගැනීම දෙරටේම අපේක්ෂාව විය.

ඊබ්‍රහිම් රයිසිගේ පංජාබ් සංචාරය අතරතුර පංජාබයට නිවාඩු දිනයක් ප්‍රකාශ කර ඇතිබවද වාර්තා වේ. කරච්චියේ සංචාරයෙන් පසු අද උදෑසන ඉරාන ජනාධිපතිවරයා මත්තල ගුවන්තොටුපලින් මෙරටට පැමිණි අතර එය වසර 16 කින් පසු ඉරාන ජනාධිපතිවරයෙක් මෙරට සංචාරය කරන පළමු අවස්ථාවද වනවා. එහිදී අවබෝධතා හා ද්විපාර්ශ්වික ගිවිසුම් 5 කට අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.

ලෝකයේ වැඩි අවදානයකට ලක්ව තිබෙන ඉරාන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය පිළිබඳව මෙරට මාධ්‍ය මගින්ද නොයෙකුත් මත ප්‍රකාශ කර තිබූ අතර මාධ්‍යවේදී ගයාන් සම්පත් සෝමරත්න මහතා ඔහුගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුනේ පකිස්ථානය, ඉන්දියාව, ඉරානය අතර සිදුවීමට නියමිත බලශක්ති වැඩසටහනක්ද මෙම සංචාරය හා සම්බන්ධතාවයක් පවතින බවයි.

ඒ අනුව රුසියාවේ සිට ඉන්දියාව දක්වා ඉදිකිරීමට යෝජිත ගෑස් නළ පද්ධතිය වියදම් අධික ව්‍යාපෘතියක් වන බැවින් ඉරානය විසින් පකිස්ථානය හරහා ඉන්දියාවට ගෑස් නළ මාර්ගයක් ඉදිකිරීමට කැමැත්ත පළකර තිබෙන බවත් බොහෝවිට ඉන්දියාව ඉරානය හරහා ලංකාව⁣ට මේ ගනුදෙනුව සම්බන්ධ කිරීමේ ප්‍රවනතවක් තිබෙන බවත් ගයාන් සම්පත් ඉස්මතුකරනවා. මෙහි මූලික අරමුණ ලෙස ඔහු ප්‍රකාශ කරන්නේ ගෝලීය සැපයුම් දාමයේ ඉන්දීය සාගරයේ බලය ඉන්දියාවට අත්පත් කරගැනීමේ අරමුණක් ලෙසයි.

සියල්ල මෙසේ සිදුවද්දී ඊශ්‍රායලය විසින් පලස්තීනයට එල්ල කරන ම්ලේච්ඡ ප්‍රහාරයන්ට එරෙහිව ඉරානයේ සහයෙන් ක්‍රියාත්මක යේමනයේ හූති මෙහෙයුම්වලට එරෙහිව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව යෙදවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා තීරණය කර තිබිණි.

කෙසේ වෙතත් ලෝකය පුරා යුධ උණුසුමක් පවතින කාලවකවානුවක බටහිර ඇමෙරිකානු ප්‍රතිපත්ති මූලික කරගත් ජන වරමකින් තොර අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජන වරමකින් තොර ආණ්ඩුව විසින් ගෙනයන මෙම දෙබිඩි ප්‍රතිපත්තිය සමස්ත ලෝකය තුළ ශ්‍රී ලංකාව කිනම් ස්ථානයක ස්ථානගත කරයිද යන්න පිළිබඳව ප්‍රශ්න ගත්ත තත්ත්වයක් මතුවීමට ඉඩ ඇත.