මෙරට 36 වෙනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇත. ඒ දක්වා ඔහු වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

මෙම පත්කිරීම නීති විරෝධී සහ පිළිගත් සම්ප්‍රදායයන් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් ලෙස පෙන්වා දිය හැක.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මේ දක්වා පොලිස්පතිවරුන් 35 දෙනෙකු පත්කර ඇත. එහිදී අනුගමනය කරන ලද ක්‍රියා පිළිවෙත් සියල්ල උල්ලංඝනය කරමින් සිදුකරන ලද මෙම පත්වීම සම්පූර්ණ වැරදි පූර්වාදර්ශයක් සපයන්නකි. එපමණක් නොව එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සහ ව්‍යවස්ථාදායක සභාවේ  තීන්දුවට එරෙහිව කටයුතු කිරීමක් ලෙසද පෙන්වා දිය හැක.

වර්තමාන ජනාධිපතිවරයා විසින් සිය අභිමතය පරිදි මෙලෙස අත්තනෝමතික ලෙස කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ ලෙස අභියෝගයට ලක් කිරීමකි. එය රට තුළ නීතිය ආධිපත්‍යය තහවුරු කිරීමට එරෙහිව එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයක් වන අතර, පටු දේශපාලන අරමුණු ඉලක්ක කර ගනිමින් මෙලෙස කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක.

දේශබන්දු තෙන්නකෝන් මහතා වැනි , සිය රාජකාරී ජීවිතය තුළ බරපතළ සහ දැඩි චෝදනාවන්ට ලක් වූ නිලධාරියෙකු පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත්කිරීමට කටයුතු කර තිබීමම  සමාජ සාධාරණත්වය සහ සමාජ යහ පැවැත්ම කෙරෙහි  අහිතකර බලපෑම් එල්ල කරන්නකි. නීතිගරුක සමාජයක පදනම වන්නේ නීතිය ආධිපත්‍ය තහවුරු වන ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවක ස්ථාවරත්වය වන අතර මෙවැනි අනීතික පත්කිරීම් හරහා එම පාරිශුද්ධභාවය අභියෝගයට ලක් කිරීම ජාතියක් ලෙස කණගාටු විය යුතු කරුණකි.

දේශබන්දු තෙන්නකෝන් මහතා අවස්ථා ගණනාවකදී විවිධ චෝදනාවන්ට ලක් ව අධිකරණය හමුවේ විභාග වන නඩු කිහිපයක චූදිතයකු ලෙසද නම් කර ඇත. එම චෝදනා අතර අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයේදී සොයාගත් මුදල ආපසු නොදීම සම්බන්ධව   විභාගවන නඩුව ද එකකි.(නඩු අංක බී22516/22)

මීට අමතරව පාස්කු ප්‍රහාරයේදී නීතිය බලාත්මක නොකළ නිලධාරියකු ලෙස බරපතළ ලෙස චෝදනාවට ලක්වීම සහ, හිටපු පොලිස් නිලධාරියෙකු වූ ශානි අබේසේකර මහතාට එරෙහිව අනීතිකව කටයුතු කිරීම  සම්බන්ධව නඩු කීපයක චූදිතයකු බවට පත්වීමද පෙන්වා දිය හැක.

මීට අමතරව නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සහ වද හිංසා පැමිණීම් සම්බන්ධයෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2023යි දෙසැම්බර් 14 වැනි දින තෙන්නකෝන් මහතාට එරෙහිව නියෝගයක් ලබාදී තිබේ.පසුගිය මැයි නම වනදා නම වනදා ගෝඨා ගෝ ගමට පහර දීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේද දේශබන්දු තෙන්නකෝන් මහතා චූදිතයකු ලෙස නම් කර ඇත.තරුණ මාධ්‍යවේදියෙකු වූ  තරිඳු ජයවර්ධන මහතා වෙත තර්ජනය කිරීම සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදු කරනු ලැබිණි .

මීට අමතරව අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්ට වද හිංසා පැමිණවීම සහ විවිධ අනීතික බලපෑම් එල්ල කිරීම සම්බන්ධවද තෙන්නකෝන් මහතාට චෝදනා රැසක් එල්ල වී තිබිණ.

මෙවැනි චෝදනාවලට ලක්වීමට අමතරව දේශබන්දු  තෙන්නකෝන් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අවධියේදී මෙරට දැවැන්ත ලෙස අපරාධ රැල්ලක් වර්ධනය විය.

ඒ අතර මාධ්‍යවේදීන්ට පහරදීම් තර්ජනය කිරීම්, පැහැරගෙන යෑම් , රටපුරා සමූහ ඝාතන රැසක් සිදුවීම සහ පාතාලය පෙර නොවූ විරූ ලෙස සක්‍රියවීමද ඉතා සමීපව හඳුනාගත හැක.

මෙරට පොලිස්පතිවරුන් පත් කිරීමේ ඉතිහාසය ගැන අවධානය යොමු කිරීමේදී, සමාජයේ විවිධ පාර්ශ්වය න්  තුළින් දැඩිව විරෝධතා එල්ල වූ එකම  පොලිස්පතිවරයා ලෙසද දේශබන්දු  තෙන්නකෝන් මහතා නම් කල  හැක.

ඔහු වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට එරෙහිව ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණු අතර ඒමහතා පත් කිරීම පිළිගත නොහැකි බවත් එම පත් කිරීම පිළිගැනීම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් පෙත්සම්කරුවන් මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියහ.

එසේම මැයි නම වනදා ගෝඨා ගමට පහර දීම සිදුවීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණයට රිට් පෙස්සමක්ද ඉදිරිපත් කරනු ලැබීය.

මෙලෙස නීතිය හමුවේ සහ සමස්ත සමාජ පද්ධතිය තුළ බරපතළ ලෙස චෝදනා ලැබූ පුද්ගලයෙකු පොලිස්පති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා  කටයුතු කිරීම  ව්‍යවස්ථාදායක සභාව නොසලකා හැරීමක් ලෙස පෙන්වා දිය හැක. එසේම පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තියටද එය කැළලකි.

යහපත් අපේක්ෂා ප්‍රමුඛ කරගත් සාධාරණ  සමාජයක  මූලික පදනම වන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ගේ,කොඳුනාරටිය අමු අමුවේ බිඳ දැමීමක් ලෙසද මෙම පත්වීම හඳුන්වා දිය හැක.

ඒ අනුව මෙම නුසුදුසු පත්කිරීමට එරෙහිව දැඩිව විරෝධය ප්‍රකාශ කර සිටින අතර, නීතියේ ආධිපත්‍යය තහවුරු වන ආකාරයට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂාව වන පරිදි කටයුතු කිරීම වත්මන් ජනාධිපතිවරයාගේ සහ රජයේ පරම වගකීම බවද මෙහිදී පෙන්වා දෙමු.