විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කළ පොසොන් පුර පසළොස්වක පසළොස්වක් පොහෝ දින පණිවිඩය !

balavegaya News Thumb CNF copy Recovered copy copy 1

ශ්‍රී ලාංකීය ඉතිහාසය සම්පූර්ණයෙන්ම විප්ලවයකට පාත්‍ර වුණේ මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කර, බුදුදහම හඳුන්වා දීම තුළිනි. පංචශීලයෙන් ශික්ෂණය ලද ජනතාව අවිහිංසාව සිය ජීවිතයේ පදනම කරගනිමින් කෘෂිකර්මයෙන් සිය ජීවනෝපාය සරු කර ගත්හ. මිහිදු මහරහතන් වහන්සේගේ ආගමනය ශ්‍රී ලාංකීය බුදුසමයේ සමාරම්භය පමණක් නොව, අප රටෙහි ජාතික අනන්‍යතාවය තහවුරු කෙරෙන ජාතික සංස්කෘතියේ සමාරම්භය ලෙස ද සනිටුහන් කෙරෙන අවස්ථාවක් වශයෙන් සැලකිය හැකිය. එතෙක් පැවති විශ්වාසයට වඩා අර්ථාන්විත සංස්කෘතියකට උරුමකම් කීමට පදනම සකස් කිරීම ඒ හරහා සිදුවිය.

ගුණදහමින්ද  බණදහමින්ද ජාතියක් ලෙස ප්‍රතිසංවර්ධනය වූයේ මිහිඳු මාහිමියන් මෙරටට වැඩම කිරීමත් සමඟ සිදු වූ ජාතික ආගමික විප්ලවය නිසාය. එදා අප අවතීර්ණ වූයේ සතා සිව්පාවාට පවා අභයදානය දෙන සංස්කෘතියකට වන අතර මිහිඳු මහ රහතන්වහන්සේ දේවානම්පියතිස්ස රජුට අවධාරණය කළේ ඔබ මේ රටේ බාරකරුවා මිස අයිතිකරුවා නොවන බවය.

මානව අයිතිවාසිකම් රකිමින් රාජ්‍ය පාලනය කිරීම, රටේ අපරාධ මර්දනය කිරීම, රටේ ආර්ථික විෂමතා නැති කිරීම, ධාර්මික ප්‍රතිපත්තිවලින් රට පාලනය කිරීම බෞද්ධ දේශපාලන දර්ශනයේ පාලකයාට පවරා ඇති වගකීම් වෙයි. දසරාජ ධර්ම,දස සක්විතිවත්, සප්ත අපරිහානී ධර්ම, සතර සංග්‍රහ වස්තු, සතර බ්‍රහ්ම විහරණ, පඤ්චශීල ප්‍රතිපදාව, සතර අගතියෙන් ඉවත්වීම වැනි රාජ්‍ය පාලකයෙකු සතු විය යුතු ගුණාංග බුදු දහමෙහි සඳහන් වෙයි. ඒ සියල්ල මහින්දාගමනයෙන් අපේ රටට ද තිළිණ විය.

අභිමානවත් රටක්, ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසූ දහම හා අනුදැන වදාළ ජීවන මඟ ඔස්සේ වන අතර එය ප්‍රෞඪ ඉතිහාසයක් මෙන්ම දීප්තිමත් අනාගතයක් උදෙසා ද අඩිතාලම දමනු ලැබීය. බුදු දහමින් ගොඩනැගුණු මහා සංස්කෘතිය අප මාතෘ භුමිය සිසාරා සෑම ගම් දනව්වකම පැතිර ගියා මෙන්ම  අන් ආගම් හා උපසංස්කෘතීන් කෙරෙහි වු සහනශීලි බෞද්ධ පිළිවෙත සමගියේ හා සහජීවනයේ පදනම බවට පත්විය.

එවන් උදාර ගමනකට අවශ්‍ය විප්ලවීය පරිවර්තනය සිදු වුයේ මහින්දාගමනය සමඟය. තුන් කල් දකිනා ශ්‍රේෂ්ඨ ධර්මයක පහසින් පෝෂණය වූ රටක පොසොන් උදාව සමරන සියලු ලක්වැසි දනන්හට පුණ්‍යවන්ත පොසොන් උළෙලක් ම වේවා !

සජිත් ප්‍රේමදාස,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ
සමගි ජන බලවේගයේ නායක.