වර්තමාන රජය අධ්‍යාපනයේ ගැටලු කළමනාකරණයට නිසි සංවේදීතාවයක් නොදැක්වීම නිසා, සමස්ත සිසු දරුවන්ගේ අනාගතය මෙන්ම රටේ අනාගතය ද අනතුරේ හෙළා ඇති බවත් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූ මාර්ගගත ක්‍රමය තුළින් අධ්‍යාපනය ලබා දීම සමබරව සෑම දරුවකු වෙත ලැබුනේ යැයි කිසිසේත්ම සෑහීමකට පත්විය නොහකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

27/2යටතේ විපක්ෂ නායකතුමා මේ බව පැවසූ අතර ලොව අනෙකුත් රටවල් පවතින තත්ත්වය කළමනාකරණය කර ගනිමින් අධ්‍යාපනය නැවත නගා සිටුවීම උදෙසා ප්‍රමුඛත්වයක් ලබා දී ඇති තත්ත්වයක් තුළ පවා අපේ රටේ සම්පූර්ණයෙන්ම ලබා නොදුන් අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත්, කල් තැබුණු අ.පො.ස. උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයන් කෙරෙහිත් අවිනිශ්චිතව බලා සිටීමට පමණක් මෙරට සමස්ත දරුවන්ට හා දෙමාපියන්ට සිදුව ඇති බවත් එතුමා පැවසීය.

ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(07) අසනු ලැබූ ප්‍රශ්නය –
 
රටක ආර්ථික, සමාජීය සහ සංස්කෘතික දියුණුව මුළුමනින්ම පාහේ රඳා පවතින්නේ එරට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මතයි. එනම්, අධ්‍යාපනය යනු රටක ඉහළම ප්‍රමුඛතාවයකි. නමුත්, වර්තමාන රජය අධ්‍යාපනයේ ගැටලු කළමනාකරණයට නිසි සංවේදීතාවයක් නොදැක්වීම නිසා, සමස්ත සිසු දරුවන්ගේ අනාගතය මෙන්ම රටේ අනාගතය ද අනතුරේ හෙළා ඇත.
 
පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූ මාර්ගගත ක්‍රමය තුළින් අධ්‍යාපනය ලබා දීම සමබරව සෑම දරුවකු වෙත ලැබුනේ යැයි කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැක. ලොව අනෙකුත් රටවල් පවතින තත්ත්වය කළමනාකරණය කර ගනිමින් අධ්‍යාපනය නැවත නගා සිටුවීම උදෙසා ප්‍රමුඛත්වයක් ලබා දී ඇත. කෙසේ නමුත්, සම්පූර්ණයෙන්ම ලබා නොදුන් අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත්, කල් තැබුණු අ.පො.ස. උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයන් කෙරෙහිත්  අවිනිශ්චිතව බලා සිටීමට පමණක් මෙරට සමස්ත දරුවන්ට හා දෙමාපියන්ට සිදුව ඇත.
 
නැවත පාසල් ආරම්භ කිරීම සඳහා ගුරුවරුන් ශාරීරිකව මෙන්ම මානසිකව ද සුදානම් කළ යුතුය. “අධ්‍යාපනය යළි ඇරඹීමේ හදවත ගුරුවරයාය” යනුවෙන් තේමා කර ගනිමින් 2021 වසරේ ජාත්‍යන්තර ගුරු දිනය ඔක්තෝබර් 05 දින ලෝක මට්ටමින් සමරනු ලබයි. එවැනි පසුබිමක, ගුරුවරුන්ගේ වෘත්තීය ඉල්ලීම් ඉටු කිරීම පසෙකලා, ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමටවත් අවස්ථාවක් නොදෙමින් ගුරු වෘත්තීය අයිතිවාසිකම් බරපතල ප්‍රතිචාර මගින් මර්දනය කළ යුතු යැයි ඇතැම් අමාත්‍යවරුන් පවසයි. මෙම අත්තනෝමතික ක්‍රියාමාර්ග  හේතුවෙන් අද වනවිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා දෙමින් තිබූ අධ්‍යාපනය ද සම්පූර්ණයන්ම ඇනහිට ඇත. මෙරට අධ්‍යාපනය නැවත ප්‍රතිස්ථාපනය සඳහා රජය දක්වනු ලබන උදාසීන පිළිවෙත සමස්ත සිසු පරපුරේම අනාගතය අඳුරේ හෙලීමකි.
 
යුනෙස්කෝ, යුනිසෙෆ් හා ලෝක බැංකුව යන ජාත්‍යන්තර ආයතන එක්ව කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් බිඳ වැටී ඇති අධ්‍යාපනය යළි ප්‍රතිස්ථාපනය සඳහා 2021 වර්ෂය වෙනුවෙන් රජයන් විසින් අවධානය යොමු කළ යුතු ප්‍රමුඛතාවයන් 03ක් හඳුන්වා දී ඇත. එනම්, සියලු ළමුන් පාසල් වෙත නැවත යොමු කිරීම, අහිමි වූ ඉගෙනුම් ආවරණය කිරීම හා සිසුන් කෙරෙහි පූර්ණ අවධානය යොමු කළ හැකි පරිදි ගුරුවරුන්ට පහසුකම් සැලසීමයි. මෙවන් ජාත්‍යන්තර නිර්දේශ පිළිබඳව හෝ දේශීය තත්ත්වයන් සම්බන්ධයෙන් හෝ විධිමත් අධ්‍යයනයක් සිදු කිරීම අත්‍යාවශ්‍ය වේ. කෙසේ නමුත්, ලංකාවේ අධ්‍යාපන ප්‍රතිස්ථාපනය සඳහා ප්‍රමාණවත් අවධානයක් රජය විසින් තවමත් යොමු කර නොමැති බව පෙනේ.
 
ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරාත්තු වෙමි.
 
1)      පාසල් අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට නිශ්චිත වැඩපිළිවෙළක් රජය සතුවේ ද? එසේනම්, එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බිම් මට්ටමේ ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා කලාප බලධාරීන් දැනුවත් කරන්නේ කවදා සිට ද?
 
2)      වසර 2කට ආසන්න කාලයක් විධිමත් පාසල් අධ්‍යාපනය නිසි පරිදි නොලැබීම හේතුවෙන් ළමුන්ගේ භෞතික වර්ධනයට සාපේක්ෂව මානසික සංවර්ධනයේ අසමතුලිතතාවයන් හට ගැනීම නොවැළැක්විය හැකිය. ළමුන්ගේ මනෝ සමාජීය තත්ත්වයන් ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ ද? එසේනම්, ඒ සඳහා නිශ්චිත සැලැස්මක් සකස් කර තිබේ ද? ඒ කුමක් ද?
 
3)      නැවත පාසල් ආරම්භ කළ පසු ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුව ඇති එක් ළමුන් කණ්ඩායමක් වන්නේ, අ.පො.ස. උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් ය. ඔවුන්ගේ විෂය නිර්දේශය ආවරණය සඳහා සිදු කළ යුතුම කාර්යය වන්නේ, සංශෝධිත විෂය නිර්දේශයක් සකස් කිරීමයි. මේ සඳහා යම් අවධානයක් රජය යොමු කර තිබේ ද? ඒ සඳහා අවශ්‍ය විෂය ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීම හා ගුරුවරුන්ට අවශ්‍ය මගපෙන්වීම් ආරම්භ කරන්නේ කවදා ද?
 
4)      මේ වනවිට සියලුම ගුරුවරුන් කොවිඩ් එන්නත්කරණයකට ලක් කර ඇති බවට ඇගයීමක් සිදු කර තිබේ ද? එය පාසල් ආරම්භ කිරීමට ප්‍රමාණවත් බවට රජයට සහතික විය හැකි තත්ත්වයක් ද? පාසල් ළමුන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීමේ රජයේ ඉදිරි සැලසුම කුමක් ද?
 
5)      කොවිඩ් අනතුරු ද නොතකමින් තම වැටුප් විෂමතාවයන් නිවැරදි කර ගැනීම සඳහා සිදු කරනු ලබන වෘත්තීය අරගල කෙරෙහි සංවේදීව සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබා ගත යුතුව ඇත. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට විසඳුමක් ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස මැදිහත් වීමක් සිදු කරන්නේ ද? එසේ නම්, මෙම ගැටලුව විසඳීමට රජය විසින් දැනට හඳුනාගෙන ඇති නිර්ණායක කවරේ ද?