සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුව හා සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර පැවතීමට අභියෝග කළ විවාදය පිළිබඳව මේ වන විට ව්‍යාකුල තත්වයක් මතුවී තිබේ. ඒ නලින් බණ්ඩාර මහතා යෝජනා කළ ආර්ථික කමිටු අතර විවාදය නොසලකා හරිමින් පක්ෂ දෙකේ නායකයන් අතර විවාදයක් පැවැත්වීමට ජාතික ජන බලවේගය ජෝජනා කිරීමත් සමඟයි.

පසුගියදා මේ පිළිබඳව අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ නායක ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ නායකයින් අතර විවාදයකට තමන් ඕනෑම අවස්ථාවක සුදානම් බවත් එළඹෙන මැයි මාසය තුලදී විවාද දෙකම පැවැත්වීමට සමගි ජන බලවේගය සුදානමින් සිටින බවත්ය. නමුත් මෙම විවාදයේ සම්බධිකරණ කටයුතු සිදුකරන නලින් බණ්ඩාර මහතා කියා සිටින්නේ සමගි ජන බලවේගයෙන් කළ අභියෝගයට මුහුණ නොදී එම අභියෝගය වෙනත් මානයකට හැරවීම හරහා ජාතික ජනබලවේගය සිදුකරන්නේ අභියෝගය බාර නොගෙන එය මගහැර යාමට උත්සාහ කරන බවත් මේ වන විට රට ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්වයකට පත්ව ඇති නිසා තමා කළ යෝජනාවේ මුල් පදනම ආර්ථික කමිටු අතර විවාදය බවත්‍ ය.

කෙසේ වෙතත් විවාදයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට 2024/04/25 දින හෝ 26 යන දින දෙකෙන් පහසු දිනයකදී පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ජාතික ජන බලවේගයේ නලින් බණ්ඩාර මහතාට සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා විසින් ලිපියක් යොමුකර තිබේ.

විවාදය සඳහා දින නියම කර ගැනීම පිළිබඳවයි.

උක්ත මැයෙන් ඔබ විසින් 2024-04-22 දා සමඟි ජන බලවේගය මහලේකම්වරයා වෙත යොමු කළ ලිපිය හා බැදේ.

අප විසින් විවාදය සදහා ඉදිරිපත් කළ යෝජනාවට පදනම් වූයේ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව හා ඔබගේ පක්ෂයේ ආර්ථික කමිටුව අතර පක්ෂ දෙකෙහි ආර්ථික ප්‍රතිපත්ති පිළිබද වූ විවාදයක් පැවැත්වීමටයි. එම විවාදයට කිසිඳු සාධනීය පිළිතුරක් ලබා නොදෙමින් පක්ෂ නායකයින් අතර විවාදයකට ඔබ පක්ෂය විසින් යෝජනාවක් ඉදිරිපත් කළ අතර එම විවාදයට තමන් සුදානම් බව අපගේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

මෙම විවාද පිළිබඳව 2024-04-09 දා තමින් මා විසින් ඔබ වෙත යොමු කළ ලිපියට යළිත් අවධානය යොමු කරවමි. අදාළ ලිපියෙන් යෝජනා කරනු ලැබුයේ පළමුව ආර්ථික කමිටුව අතර විවාදයත් දෙවනුව නායකත්ව මට්ටමේ විවාදයත් පැවැත්වීමත්, එම විවාද දෙකම මැයි මාසය තුළ පැවැත්වීමට දෙපාර්ශ්වයම සාකච්ඡා කොට එකවර දින නියම කිරීමත්ය.

2024-04-22 ඔබ විසින් යොමු කළ ලිපියේ ආර්ථික කමිටු විවාදය ගැන සඳහනක් නොමැත. එම විවාදයට ඔබ එකඟ වන්නේද? නැද්ද? යන්න පැහැදිලි කිරීම අත්‍යාවශ්‍ය වුවකි. ඒ පිළිබඳව කඩිනම් පිළිතුරක් අපේක්ෂා කරමි.

කෙසේ වුවත් අදාළ විවාදයන් දෙක පැවැත්වීම පිළිබද දිනයන් සහ අනෙකුත් විධි විධාන සැලසීම පිළිබදව වූ සාකච්ඡාවකට 2024-04-25 හෝ 26 යන දින දෙකකින් ඔබට පහසු දිනයකදී පාර්ලිමේන්තුවට පැමිණෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

විවාදය