මේ රට ගොඩනැගිය හැක්කේ මිශ්‍ර ආර්ථිකයක් තුළින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (02) පැවසීය.

පවත්නා ආර්ථික ක්‍රමයෙහි ඇති බරපතළ වැරැද්ද හේතුකොටගෙන මුළුමහත් රටම දැඩි වියසනයකට පත්ව ඇති බව ද ඒ මහතා පැවැසීය. රෝහල් වලට අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම අරමුණ කොට ගනිමින්  සමගි ජන බලවේගය විසින් “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ආරම්භ කරනු ලැබීය. ඊට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස දියත් කරනු ලබන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 33වන පියවර ලෙස රුපියල් විසිලක්ෂ දාසයදහසක් (රු. 2,016,000) වටිනා රෝහල් උපකරණ අවිස්සාවේල්ල රෝහලට පරිත්‍යාග කරනු ලැබීය. ඒ ඊයේ (01)ට යෙදී තිබූ දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ගුණානුස්මරණය සිහිපත් කරමිනි. ඒ අනුව,

  1. Infusion Pump යන්ත්‍ර 4ක් (105,000 x 4 = 420,000)
  2. Syringe Pump යන්ත්‍ර 4ක් (104,000 x 4 = 416,000)
  3. Multipara Monitor යන්ත්‍ර 4ක් (295,000 x 4 = එකතුව  2,016,000 යන උපකරණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එසඳ වෙල්ලාල මහතා වෙත  පරිත්‍යාග කරනු ලැබීය.

මේ අවස්ථාවට දිවංගත ජනාධිපති ජේ ආර් ජයවර්ධන යන්ගේ මුණුපුරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර  කොළඹ සංවිධායක නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන, අවිස්සාවේල්ල සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ගයාන් කොඩිතුවක්කු,හිටපු පළාත් සභා මන්ත්‍රී ලෙනාඩ් කරුණාරත්න, සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධනවර්ධන ගුරුගේ, ඇතුළු මහජන නියෝජිතයින් රැසක්ම එම අවස්ථාවට එක්ව සිටියහ.

මේ රටේ සෞභාග්‍යයේ නියමුවා වන ජේ ආර් ජයවර්ධනයන් සිහිපත් කරමින් අවිස්සාවේල්ල රෝහලට රෝහල් උපකරණ පරිත්‍යාග කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ දක්වා අදියර තිස් තුනක් ඔස්සේ මෙවැනි පරිත්‍යාග සිදු කොට ඇතැයිද පැවසීය.

හැමදාමත් ආණ්ඩු සහ විපක්ෂ  සිදුකළේ දේශපාලනය බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගය ඒ දෙකම වෙනුවට දේශ සේවය තෝරාගත්  බවද පැවසීය. 

වීරත්වය ගැන පුරසාරම් දෙඩු  ඇමතිවරු තානාපති කාර්යාල ළඟ දණ ගහන තත්ත්වයට පත්ව ඇති බවත් මහජන බැංකුවට පවා බරපතළ අර්බුදයට ලක්ව ඇතැයි ද ඒ මහතා පැවැසීය.

එක පැත්තකින් කිරිපිටි පෝලිම, තව පැත්තකින් ගෑස් පෝලිම, ඇතුළු පෝලිම් රට පුරා මතුව ඇති අතර ඒ අතරතුර දී ආණ්ඩුව ජාතිවාදය,වර්ගවාදය අවුස්සමින් සිටින බවද විපක්ෂ නායකතුමා පැවසීය.

එක රටක් එක නීතියක් යනුවෙන් කළයුත්තේ රට තුළ මහා කැළඹිල්ලක් ඇති කිරීමට නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා,කළ යුතුව ඇත්තේ  මේ රට තුළ සියලු දෙනාටම නිදහසේ නිවහල්ව ජීවත් වීමේ අයිතිය ඇති කිරීම බවද පැවසීය.   

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා,  දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මීට පෙර සමගි ජනබලවේගයේ හුස්මක් වැඩසටහනේ අදියර 32ක් තුල රු 97,234,000ක (ලක්ෂ 972ක) පරිත්‍යාග සිදුකොට තිබේ.