සමාජවාදය කියන්නේ ජන ජීවිත, ජීවනෝපාය, නව ව්‍යවසයා සහ පෞද්ගලික කර්මාන්ත විනාශ කරන මහා බලවේගයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

සමහර කණ්ඩායම් සුහුරු රටක් ගොඩනගන්නේ සුහුරු පක්ෂයක් ගොඩ නැගීමෙන් බවත් තවත් විකල්ප කණ්ඩායම් සුහුරු රටවල් ගොඩනගන්නේ සමාජවාදී ක්‍රමය තුළින් බවත් සමාජවාදී ක්‍රමය තුළ කිසිදු ව්‍යවසායකත්වයකට තැනක් නොමැති බවත් එය ව්‍යවසායකත්ව විරෝධී සංකල්පයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇගලුම් කම්හල් 200 ව්‍යාපෘතිය ගෙන ආ අවස්ථාවේ සුද්දියන්ට යට ඇදුම් මැසීමට ගමේ තරුණයන් යොදා ගන්නවා කියා පාද යාත්‍රා යමින්, රට පුරා භීෂණයක් වැපුරුවත් අද එම කර්මාන්තශාලා නිසා බංකොලොත් අප රටට ඩොලර් ලැබෙමින් පවතින බවත් අප රටට නව සංකල්ප හඳුන්වා දෙනකොට එයට විරුද්ධ වන මෙවැනි පුද්ගලයන් අදටත් සිටින බවත් පවතින අන්ධකාරය තුළින් රිදී රේඛාව නිර්මාණය කර ගැනීමට නම් මෙවැනි පසුගාමී සිතුවිලිවලින් බැහැරව ඉදිරියට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම සමාජවාදය තුළින් මැණික් කර්මාන්තය, තේ කර්මාන්තය දියුණු කළ නොහැකි බවත් අන්ත වාමාංශික රජය කේන්ද්‍ර කර ගත් ආර්ථික රටාවක් තුළින් ව්‍යවසායකයන්ට ඉදිරියට යා නොහැකි බවත් මේ සමාජවාදය ජන ජිවිත හා ජීවනෝපාය විනාශ කරන මහා පිළිලයක් බවත් එය රටටත් ජනතාවටත් කරන මහා දේ‍රා්හීකමක් බැවින් 2019 මෙන් නැවත වරක් නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (27) රත්නපුරයේ පැවැති සමගි ජන බලවේග ආර්ථික දැක්ම එළි දැක්වීමේ බ්ලූප්‍රින්ට් වැඩසටහන හා එක්වෙමිනි.

ව්‍යාපාරිකයන් දහඩිය මහන්සියෙන් උපයන දේ රජයේ බාරකාරීත්වයට ගත හොත් සිදුවන දේ මොකද්ද කියා බුද්ධිමත්ව සිතන ලෙසත් විකල්ප යැයි කියා ගන්නා පුද්ගලයන් බලයට පැමිණිය හොත් සිදු වන්නේ එවැනි දෙයක් බවත් ව්‍යවසායකයන් උත්පාදනය කරන ධනය රජයට පවරා ගැනීම සිදුවන බවත් මේ රටට ඉදිරියක් ඇත්තේ නව ව්‍යවසායකත්වයෙන් බවත් දරිද්‍රතාව තුරන් කිරිමට එය උපකාරි වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පාලකයන්ට නොව ලක්ෂ 220 ආයු බොහෝ වේවා

සමගි ජන බලවේග රජයක් තුළ මහරජාණෝලා නොමැති බවත් තාවකාලිකව ජන වරමින් පැමිණි බාරකරුවන් පමණක් සිටින බවත් තාවකාලික බාරකරුවන්ගේ වගකීම වන්නේ ලක්ෂ 220 ආයු කාලය වර්ධනය කිරීම බවත් පාලකයන්ට නොව ලක්ෂ 220ට ආයු බොහෝ වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

විප්ලවවාදීන් ෆයිල් මිටි පෙන්නුවට අල්ලපු හොරෙක් නම් නැහැ

මාධ්‍යවලින් සමහර ප්‍රතිවාදීන් ඉදිරිපත් කරන කතා අහද්දි හිනා යන බවත් ෆයිල් පෙන්වා හොරු අල්ලනවා යැයි කිව්වත් තවම අල්ලපු හොරෙක් නොමැති වුවත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ පුද්ගලයන් කවුද කියා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය කර ගත් බවත් ප්‍රායෝගිකවම සමගි ජන බලවේගය හොරු කවුද කියා අනාවරණය කල බවත් මේ නිසා මොවුන්ට වන්දි ගෙවීමට පවා සිදුවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

වැටුණු තැනින් ගොඩ එන්න පුළුවන් මානුෂීය ධනවාදයෙන් විතරයි

අප රට වැරදි ගණනාවක් නිසා බංකොලොත් වූ රටක් බවත් බංකොලොත් රටක සිට අප එයට විසඳුම් සොයමින් සිටින බවත් එහි දී සමගි ජන බලවේගයට සාර්ව සහ ක්ෂුද්‍ර ආර්ථික දැක්මක් පවතින බවත් සාර්ව ආර්ථික දැක්ම තුළ මානුෂීය ධනවාදය අනුගමනය කරන බවත් එහි දී ධනවාදයේ වැදගත්කම ගැන කතා කිරීමට තමා මැළි නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වැටුණු තැනින් රට ගොඩ ගන්න මානුෂීය ධනවාදී ප්‍රතිපත්තිය තුළ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයට ඉඩ තබා ඉල්ලුම සැපයුම කේන්ද්‍ර කර ගත් ආර්ථික රටාව තුළ සමාජ සාධාරණත්වය හා යුක්තිය තහවුරු කෙරෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ඉදිරියට යන බවත් එහි දී සැවොම එකට එක් කර ගත් ආර්ථික වර්ධනයක් කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පවතින අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අත්‍යාවශ්‍යයි

අප රටට පවතින අධ්‍යාපන ක්‍රමයෙන් ගොඩ යා නොහැකි බවත් කටපාඩම් ගිරා පෝතක අධ්‍යාපන ක්‍රමය වෙනස් කර නිපුණතාව දක්ෂතාව කුසලතාව ඇති ප්‍රශ්න විසඳන්නන් බිහි කළ යුතු බවත් ඒ සඳහා ස්ටීම් එඩියුකේෂන්වලට මුල්තැන ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපනය නවීකරණය කිරීමේ දී රජයේ පාසල් 10126ම ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ආරම්භ කර විශිෂ්ටයන් බිහි කරණ ස්ථාන බවට පත් කළ යුතු බවත් නිපුණතාවෙන් කුසලතාවෙන් දක්ෂතාවෙන් සපිරි ශ්‍රම බලකායක් බිහි කල යුතු බවත් එවිට විරැකියාවට ඉබේම පිළිතුරු ලැබෙන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

කෘෂි තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි

එසේම නව කෘෂි තාක්ෂණයට මුල් තැන දී පසු අස්වනු තාක්ෂණය ශීතාගාර පහසුකම්වලට යා යුතු බවත් නෙදර්ලන්තය, ඊශ්‍රාලය, මැදපෙරදිග රටවල සාර්ථක කෘෂිකර්මාන්තයක් ක්‍රියාත්මක වෙනවා නම් අප රටටද එවැනි හැකියාවක් පවතින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අපි නැත්නම් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගැන රජය දන්නෙත් නැහැ

දළ දේශීය නිෂ්පාදිතයට 50%ක් සහ රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් පසුගිය මාසය වන තුරු ආණ්ඩුවේ අවධානය නොලැබුණු බවත් වසර එක හමාරක් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සමගි ජන බලවේගය ඔවුන් වෙනුවෙන් හඬ නගා ඒ අයට ආසියානු සංවර්ධන බැංකුවට, යුරෝපා සංගමයේ කොමසාරිස්වරියට සෘජුවම සම්බන්ධ කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුව ඇ. ඩොලර් මිලියන 100ක සහයෝගයක් මොවුන් වෙනුවෙන් ලබා දුන්නත් එය ක්‍රියාත්මක වීමේ ක්‍රමවේද ගැන බරපතල ගැටලු ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට උගුර ලේ රහ වනතරු හඬ නැගු බවත් එහි ප්‍රතිඵලයක් ලෙස රජය අමාරුවෙන් හෝ පරාටේ නීති අත්හිටුවන්න පියවර ගත්තත් එය ප්‍රමාණවත් නොවන බවත් මෙම අත්හිටවූ කාලයේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට කාරක ප්‍රාග්ධනයක් අවශ්‍ය බවත් දරාගත හැකි පිරිවැයකට ප්‍රාග්ධනයට ප්‍රවේශයක් ලබා දිය යුතු බවත් එහි දී සහන පොලියක් යටතේ ණය ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.