ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු විපක්ෂයේ නියෝජිතයින් සාකච්ඡා පැවැත්වූවේ රටේ ජනතාවගේ පැත්තේ ඉඳන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පැවැසීය.

මයන්ත දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ පසුගිය දා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවේදී සමඟි ජන බලවේග රජයක් තුල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම් සංශෝධනය කිරීමට කටයුතු කරන බවයි.

ඊයේ (21) දින කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මේ බව සඳහන් කළේය. සමගි ජනබලවේගයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතාද මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මෙසේ පැවැසීය.

“දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 82 වැනි ජන්ම දින සැමරුම ඊයේ (20) කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ගාමිණී දිසානායක පිළිරුව අබියසදී පැවැත්වුණා. එම අවස්ථාවට එක්වුණ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ගාමිණී දිසානායක මහතා ඝාතනය වෙලා වසර 30 ක් පමණ වෙනවා. ඒ අවුරුදු 30 තුළ ගාමිණී දිසානායක මහතාට ආදරය කළ ඔහුගේ දේශපාලන දර්ශනය පිළිගත්ත ජනතාව අපි සමඟ දිගටම සිටියා.

ඒ වගේම කියන්න ඕනි මහවැලි කලාපවල ගොවීන් විශේෂයෙන් ගිරාන්දුරුකෝට්ටේ , දෙහිඅත්තකන්ඩිය වැනි ප්‍රදේශවල ගොවීන් දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 82 වැනි ජන්ම දිනය වෙනුවෙන් පිංකම් රැසක් සුදානම් කරලා තිබෙනවා. ගාමිණී දිසානායක මහතා ඝාතනය වී අවුරුදු 30 ක් ගතවෙලත් ඔවුන් ඒ පිංකම් තවම සිදුකරනවා. කළගුණ දන්න ගොවීන් තවත් එම ප්‍රදේශවල සිටිනවා.

ඒ වගේම පසුගියදා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ විපක්ෂ නායකවරයා සහ සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සාකච්ඡා කළේ ජනතාවගේ පැත්තේ සිටගෙනයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගත් ගිවිසුමේ සංශෝධන කිහිපයක් සමගි ජනබලවේග රජයක් තුළ සිදුකරන බව විපක්ෂය එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට දැනුම් දුන්නා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් ගත් නිර්දේශ සහ තීන්දු කිහිපයක් ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳව කිසිදු ගැටලුවක් නෑ අපි එය පිළිගන්නවා. කිසිදු දේශපාලන බලපෑමකින් තොරව මහ බැංකුව පාලනය විය යුතුයි.

රටේ ආර්ථික අර්බුදයක් පවතින මොහොතක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 74 ක් වැනි ප්‍රතිශතවලින් වැටුප් වැඩි කර ගැනීම පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා.

මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ පරීක්ෂණයක් කිරීම සඳහා ස්වාධීන කමිටුවක් කඩිනමින් පත්කරන ලෙස මුදල් කාරක සභාව නිර්දේශ කළා. ඉහළ පෙළේ නිලධාරීන් රදා පැවැතිය යුතු නිසා ඔවුන්ගේ වැටුප් වැඩිකිරිම පිළිබඳව අපි ප්‍රශ්න කරන්නේ නෑ. නමුත් ආර්ථික අර්බුදයක් පවතින මොහොතක වැටුප් වැඩි කරගැනීම පිළිබඳව අපි ප්‍රශ්න කරනවා. ජනතාව දැඩි අර්ථික ගැටලුවලට මුහුණ දී සිටින අවස්ථාවක මහ බැංකුවේ ඉහළ නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වා වැටුප් වැඩි කර ගැනීම පිළිබඳව අපි ප්‍රශ්න කරනවා.

මහ බැංකුවේ නිලධාරින්ගේ වැටුප් වැඩි කරගැනීම තාවකාලිකව අත්හිටුවලා මේ පිළිබඳව කමිටුවක් පත් කරලා මේ පිළිබඳව නිවැරදි තින්දුවක් ගත යුතුව තිබෙනවා.

මහවැලි කලාපවල ගොවීන් වී නිෂ්පාදනය කරලා වී වේලලා විකුණන්න උත්සහ කරන අවස්ථාවේ වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම පිළිබඳව ප්‍රකාශ කරලා නෑ. මෙවර මහ කන්නයෙන් හොද වී අස්වැන්නක් ලැබිලා තිබෙනවා. ගොවීන්ට වී කිලෝවක් නිෂ්පාදනය කරන්න දළ වශයෙන් රුපියල් 100 ත් 105 ත් අතර මුදලක් වැය වෙනවා. ගොවීන්ගේ වී ගන්නේ කීයටද කියලා තවම රජය ප්‍රකාශ කරලා නෑ. රජයේ නිසි ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් ගොවීන් දැඩි අසරණ තත්ත්වයකට පත්වෙලා සිටිනවා. දිවන්ගත ගාමිණි දිසානායක මැතිතුමා මහවැලි පනත සහ වී අලෙවි මණ්ඩලය ඇතිකළේ රටේ සිටින අහිංසක ගොවීන් වෙනුවෙන්. වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී නොගැනීම නිසා මහ පරිමානයේ මෝල් හිමියන්ට වාසියක් ඇතිවෙලා තිබෙනවා. ඒ වාසිය ජනතාවටවත් ගොවීන්ට ලැබෙන්නේ නෑ.

රජය අප්‍රේල් මාසය වනවිට ජාත්‍යන්තර ණය ගෙවීම් ආරම්භ කළ යුතුයි. ණය ගෙවීම් පටන් ගත්තාව රටේ ආර්ථිකය කොතරම් දුරට පහළට වැටෙයිද කියලා කියන්න බෑ. ජනතාවගේ කර මත තව බදු පිට බදු පැටවෙන්නත් පුලුවන්. රටේ ආර්ථිකය බදු හරහා පමණක් ගොඩනගන්න බැ. ජනතාවගේ කර මත බදු පිට බදු ගහලා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න සමගි ජනබලවේගය හදන ආණ්ඩුව කටයුතු කරන්නේ නෑ. ශක්තිමත් ආර්ථිකයක් හදලා ජනතාව
දරන පීඩනයෙන් මුදවාගෙන අනාගතය වෙනුවෙන් වැඩ කරන්න පුලුවන් ආණ්ඩුවක් නිර්මාණය කිරිමට තමයි සමගි ජනබලවේගය කටයුතු කරන්නේ.

ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට සමගි ජනබලවේගය සුදානම්. ආසන මට්ටමින් කොට්ඨාස මට්ටමින් පක්ෂයේ යාන්ත්‍රණය ශක්තිමත් කරලා තිබෙනවා. මහ මැතිවරණයක් පවත්වයි කියලා තමයි අපි බලාපොරාත්තු වෙන්නේ. කෙසේ නමුත් ජනාධිපතිවරණයේදී අපේ අපෙක්ෂකයා වෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. සමීක්ෂණ වාර්තා බලන විට ඉදිරියෙන් ඉන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා. පොදුජන පෙරමුණ සමඟ වැඩකළ බොහෝ පිරිසක් ගම්මට්ටමින් මේ වනවිට සමගි ජනබලවේගය සමඟ එකතුවෙමින් සිටිනවා”