කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දීර්ඝ කාලයක් පුරා මුහුණ දෙන මූල්‍ය සහ ණය ගැටලු රැසක් සම්බන්ධයෙන් පසුගිය ජූලි 28 වැනි දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීම මත ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතර පැවැත්වූ හමුවෙන් අනතුරුව ඊයේ(11) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීම මත ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතර හමුවක් ද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

මීට පෙර දේශපාලන නියෝජිතයන් පමණක් මෙවැනි සාකච්ඡා සදහා එක්වුවත් මෙහි දී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට ද තම ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම කැපී පෙනුනි.

මෙහි දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන මූල්‍ය ගැටලු විසදීම සදහා ඔවුන්ගේම යෝජනා සහ අදහස් මත නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් මෙහි දී පැවසීය. මීට පෙර මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළේ රජයේ ඉහල නිලධාරීන්ගේ මැදිහත්වීම මත වුවත් මෙහි දී ජනතාවගේ මැදිහත්වීම සිදුවීම කැපී පෙනේ.

මේ අවස්ථාව සදහා ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින් එහි පෞද්ගලික අංශයේ සංවර්ධන ඒකකයේ ප්‍රධානී Santosh Pokharel මහතා සහ මූල්‍ය විශ්ලේෂක උරේෂා ටී වල්පිටගම මහත්මිය එක්විය.