විවිධ රැකියා ක්ෂේත්‍රයන් හි නිරත පුද්ගලයන්ට තවදුරටත් සිය උසස් අධ්‍යාපනය හැදැරීමේ අවස්ථාව ලබා දීමේ අරමුණින් ආරම්භ වූ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, අනෙකුත් විශ්වවිද්‍යාල මෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) යටතේ නියාමනය නොවීම නිසා රැකියා වෙළෙඳපොළේ දී දැඩි අර්බුධ රැසකට එහි ඉගෙන ලබන විද්‍යාර්ථයින් සහ උපාධිධාරීන් මුහුණ දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ හේතුවෙන් එහි අධ්‍යයන හා පරිපාලන කටයුතු නිසි ප්‍රමිතියකින් සිදු නොවීමත් අනෙකුත් විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථයන්ට හිමිවන වරප්‍රසාද හිමි නොවීමත් නිසා එහි සිසුන් දැඩි අපහසුතා රැසකට මුහුණ දී ඇති බවත් හෙතෙම පැවසීය. එසේ ම 2016 වසරේ දී වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ අධීක්ෂණය කිරීම උදෙසා වන කැබිනට් අනුමැතිය ද හිමිව තිබුණත් එම තීරණය මෙතෙක් ක්‍රියාවට ගෙන නොමැති බවත් මේ හේතුවෙන් ඔවුන්ගේ උපාධියට හිමි වලංගු භාවය ද අහිමි වෙමින් යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය. පැවසීය.