දැනට සිදුවෙමින් පවතින හියුමන් ඉමියුනොග්ලොබින් පර්යේෂණයට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගේ කාර්යාලය මුද්‍රා තබන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.

වෛද්‍ය සමන් රත්නායක මහතාගේ කාර්යාලය අද (19) පෙරවරුවේ පරීක්ෂා කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙන අතර මෙය ඊයේ පර්යේෂණය සම්බන්ධයෙන් චූදිතයන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග කර තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ සමන් රත්නායක මහතාගේ කාර්යාලයේ ලිපි ලේඛන පරීක්ෂා කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔහු මාලිකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අධිකරණයේදී අනාවරණය වූ කරුණු අනුව මෙම ඖෂධය ලබාගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, අයිසොලේස් බයෝටෙක් සමාගමේ හිමිකරු සමග පසුගිය ජනවාරි 04 වෙනි දා ඇති කරගත් ගිවිසුමක් අනුවයි.

මෙම සිද්ධියට අදාළව එම ඖෂධය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් බව පැවසෙන සමාගමේ හිමිකරු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ඇතුළු 5 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.