ජන අරගල ව්‍යාපාරයේ සභාපති චානක බණ්ඩාර ඇතුළු පිරිසක් ඊයේ (18) නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලය වෙත පැමිණ පක්ෂ ලේකම් සාගර කාරියවසම් හට විරෝධය පළ කර ඔහුට පුන්නක්කු බාල්දියක් ගෙනැවිත් දී තිබෙනවා.

ඒ පසුගිය 15වැනිදා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයේදී සාගර කාරියවසම් විසින් සිදුකළ ප්‍රකාශයකට එරෙහිවයි.

මේ රටේ උපදින දරුවන්ට අපහාස කරමින් ඔහු එම ප්‍රකාශය කරමින් කියා සිටියේ අලුත උපදින දරුවන්ගෙන් 3%ක් කුහකයන් හැටියට උපදින බවයි.

එම ආන්දෝලනාත්මක ප්‍රකාශයට පිළිතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ට පුන්නක්කු බාල්දියක් ගෙන එමින්  චානක බණ්ඩාර මහතා කියා සිටියේ පොහොට්ටු ආණ්ඩුව විසින් රටේ ජනතාව අර්බුදයකට ඇද දමමින්, රටේ තරුණ පරම්පරාවට අනාගතය අහිමි කරමින් මෙවැනි ප්‍රකාශ කිරීම තුලින් ඔහුගේ බුද්ධියේ මට්ටම මැනගැනීමට හැකි වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්ව මණ්ඩලය මේ වන විට රටේ ජනතාව ආර්ථික අර්බුදයකට ඇද දැමීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා වැරදිකරුවන් වී සිටින බවත්ය.

කෙසේවෙතත් ජන අරගල ව්‍යාපාරයේ සභාපති ඇතුළු කිහිපදෙනෙකු මෙම විරෝධතාවයට සම්බන්ධවී සිටි අතර ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන්ට එරෙහිව විශේෂ කාර්ය බලකාය මෙන්ම ජාල ප්‍රහාරක රථද එම ස්ථානයට ගෙන විත් තිබුණා.

එම පිරිසට කාර්යාලයට ළඟවීමට අවස්ථාව ලබානොදීම හේතුවෙන් ඔවුන් මාර්ගය ඉදිරිපිටදී විරෝධය පළ කළ අතර එහිදී, පුන්නක්කු බාල්දියක් ද විරෝධතාකරුවන් විසින් රැගෙන විත් එය මාර්ගයේ තබා ඔවුන් සිය විරෝධය පළ කළ බවයි වාර්තාකරු සඳහන් කළේ.