ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන ආයතනවල සභාපතිවරු ඇතුළු නියෝජිතයන් රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනගන වැඩපිළිවෙළට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

මෙසේ එක් වූ පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දශක දෙකකට ආසන්න සංඛ්‍යාවක් සංවිධායක ධුර ඇතුළු වැදගත් තනතුරු රැසක් දැරූ පුද්ගලයන් වීම ද සුවිශේෂී වේ. මෙසේ එක් වූ ප්‍රාදේශීය දේශපාලනඥයන් අතර ගාල්ල අක්මීමන ආසනයේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මෙන්ම උප සභාපතිවරයා ලෙස කටයුතු කළ මාවනැල්ල විතානගේ පද්මසේන මහතා ද වේ. ඒ මහතා වසර 24කට වැඩි කාලයක් බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව නියෝජනය කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයකු ලෙස 1973 සහ 2024 දක්වා වසර 51ක කාලයක් ද කටයුතු කර තිබේ.

එසේ ම ගාල්ල අක්මීමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන් ම අක්මීමන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වූ අනිල් ප්‍රියදර්ශන ජාගොඩ මහතා අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී එතුමාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

තවද ගාල්ල අක්මීමන ප්‍රාදේශීය සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී පී. එච්. අයි. සඳරුවන් මහතා ද අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී එතුමාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.