සමස්ත ලෝක වාසී ඉස්ලාම් බැතිමතුන් මාසයක් පුරා උපවාස ශීලය ආරක්ෂා කර, නව සඳ බැලීමෙන් පසුව සමරන රාමසාන් දිනය හෙවත් ඊදුල් ෆීතර් උත්සවය අදට යෙදී තිබේ. අල්ලාහ් දෙවියන් විසින් ශුද්ධ වූ අල් – කුරානය මොහොමඩ් නබිතුමා වෙත ප්‍රදානය කරනු ලැබුවේ රාමසාන් මාසයේදී වන අතර සමානාත්මතාවයේ මාහැඟි පණිවිඩය රාමසාන්  තුළින් ගම්‍ය කරයි.

රාමසාන් මාසයේ දී ඉස්ලාම් බැතිමතුන් අල්ලා දෙවියන් වෙනුවෙන් කැප විය.එය ඔවුන් ඉමහත් භක්තියෙන් සිදු කරනු ලැබීය.

කුසගින්නෙන් පෙළෙන ජනතාව විදින පීඩාව කෙබඳුදැයි අවබෝධ කරගැනීමටත්, ඒ පිළිබඳ ව සංවේදී සිතින් පරිත්‍යාගශීලී ජීවිතයකට යොමු වීමටත්, සිත දමනය කිරීමේ හැකියාව වර්ධනය කරගැනීමටත් රාමසාන් උපවාස සමය අගනා අවස්ථාවකි.

එම යහපත් ජීවන චර්යාවන් එක් මාසයකට සීමා නොකොට දිනපතා ජීවිතය තුළ ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ අධිෂ්ඨානයයි.

ඔවුන්ගේ මෙම කැපවීම, ආත්ම දමනය මෙන්ම සමානාත්මතාව සඳහා මඟ පෙන්වන පරිත්‍යාගශීලීත්වය ජාතික සමඟියට සහ සංහිඳියාවට ද මහඟු ආදර්ශයකි.

ආගමානුකූල ලෙස ශික්ෂණය ලැබු ඉස්ලාමීය ජනතාව ඉතිහාසය පුරා ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ අනෙකුත් ජාතීන් හා ආගම් සමග අනෝන්‍ය සුහදත්වයෙන් කටයුතු කර ඇති බව වෙසෙසින්ම සඳහන් කළ යුතුය.

අන්‍යෝන්‍ය සුහදතාවය,මානව ප්‍රේමය,සහ ලෙන්ගතුකම තුළින් චිරාත් කාලයක් මුළුල්ලේ ඔවුන් පවත්වාගෙන ආ යහපත් බවේ පණිවිඩය උදාර ය.

සියලු ඉස්ලාමීය බැතිමතුන්ට,

එකිනෙකා කෙරෙහි දයාබරත්වයත්,අප්‍රමාණ සහෝදරත්ව යත්,සහනසීලී පිළිවෙත මුල් කොට ගනිමින් උදාර මාතෘ භූමියක් ගොඩනැගීම උදෙසා වූ අධිෂ්ඨානය සහිත රාමසාන් දිනයක් වේවා!

සජිත් ප්‍රේමදාස 

විපක්ෂ නායක