රනිල් වික්‍රමසිංහ අවුරුදු 27ක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හොබවමින් කිසිඳු තරුණ නායකයෙකුට ඉදිරියට පැමිණීමට ඉඩ නොදී පක්ෂය විනාශය පමණක් නොව මුළු රටම විනාශයට පත්කළ බව සුජීව සේනසිංහ මහතා පැවසීය.

මේ වන විට සමගි ජනබලවේගයේ යාන්ත්‍රණය ජවය වැඩසටහන තුළින් ශක්තිමත් වී ඇති බවත් ඒ ශක්තිය හරහා ඕනෑම අවස්ථාවක ලක්ෂ දෙක තුනක සෙනඟක් ලංකාවේ ඕනෑම තැනකට ඒකරාශි කිරිමේ ශක්තිය සමගි ජනබලවේගයට තිබෙන බව ස.ජ.බ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානි සුජීව සේනසිංහ මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (02) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහමහතා මෙසේද කීය.

‘‘සමගි ජනබලවේග මැයි දින රැළිය සඳහා ලක්ෂයකට අධික පිරිසක් කොළඹට එකතු වුණා. කොළඹ පැවැති සාර්ථිකම මැයි දින රැස්වීම සමගි ජනබලවේගයේ මැයි දින රැස්වීම. පොදුජන පෙරමුණට , ජනතා විමුක්ති පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට පැමිණි සෙනග හා සංසන්දනය කරද්දි සමගි ජනබලවේග මැයි දින රැස්විමට පැමිණ සෙනග සියලු පක්ෂවලට පැමිණි සෙනගට වඩා වැඩි සෙනගක් පැමිණ තිබෙන අපිට වාර්තා වෙනවා.

සමගි ජනබලවේග මැයි දින රැළිය පවත්වන්න ආණ්ඩුව විසින් ලබාදුන්නේ අඩු ඉඩක් තිබෙන ස්ථානයක්. සජබ මැයි දිනය පවත්වන්න ලබාදුන්න ස්ථානයේ විශාල ජනතාවක් ඒකරාශි කරන්න බෑ. මෙවැනි දේවල් සිදුකරලා සමගි ජනබලවේගය පහළට ඇදලා දාන්න බෑ. සමගි ජනබලවේගයට තිබෙන ජනතා රැල්ල නවත්වන්න ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව උත්සහ කළත් එය සිදුකරන්න බෑ.

සමගි ජනබලවේගයේ යාන්ත්‍රණය ජවය වැඩසටහන තුළින් අති සාර්ථික ලෙස ශක්තිමත් වෙලා තිබෙනවා. ජවය වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 12 ක සංවිධායකවරු , අපෙක්ෂකවරු සංවිධානය කරලා අවසන්. තවත් දිස්ත්‍රික්ක කිහිපයක් ඉතුරු වෙලා තිබෙනවා. ඒ දිස්ත්‍රික්ක කිහිපයෙත් සංවිධායකවරු , අපෙක්ෂකවරු සංවිධානය කළාට පසුව , ඕනෑම අවස්ථාවක ලක්ෂ දෙක තුනක සෙනඟක් ලංකාවේ ඕනම තැනක ඒකරාශි කිරිමේ ශක්තිය සමගි ජනබලවේගයට තිබෙනවා. රනිල් වික්‍රමසිංහගෙන් මිදුනට පසුව තමයි මෙවැනි ශක්තියක් සමගි ජනබලවේගයට ලැබිලා තිබෙන්නේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහුගේ මැයි දින කතාව පුරා කතා කළේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ගැන. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා බය නිසා ආණ්ඩුව භාර ගත්තේ නැ කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිව්වා. රට විනාශ කළ පිරිසක් සමඟ එකතුවෙලා දීග කන්න අපිට බෑ. අපි එවැනි ප්‍රතිපත්තියක නෑ. ඒ වගේම අනෙක්තු දේශපාලන පක්ෂ සහ පුද්ගලයින් ප්‍රහාර එල්ල කරන්නෙත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට. සියලු දෙනා සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රහාර එල්ල කරනවා කියන්නේ රටේ ඊළඟ ජනාධිපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාව පිළිගෙන අවසන් කියන එකයි.

සියලු මැයි දින රැළි වල ප්‍රධාන අරමුණ සජිත් ප්‍රේමදාස මහත්තයට ප්‍රහාරයක් එල්ල කිරිමයි. නමුත් ඒ ප්‍රහාර එල්ල කළ පිරිස් සජිත් ප්‍රේමදාස මහත්තයා මිනි මරුවෙක් කියලා කිව්වේ නෑ , හොරකම් කරලා තිබෙනවා කියලා කිව්වේ නෑ , සජිත් ප්‍රේමදාස මහත්තයි පන්සිල් පද කඩනවා කියලා කිව්වේ නෑ. දේශපාලනික වශයෙන් ප්‍රහාර තමයි එතුමාට එල්ල කළේ. මඩ ප්‍රහාරක් වදින් නැතිව සජිත් ප්‍රේමදාස මහත්තයා හොදින් දේශපානය සිදුකරලා තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය පමණක් නෙවෙයි මුලු රටම විනාශ කළා. ඔහු අවුරුදු 6 ක් පරාජය වුණ පුද්ගලයෙක්. ඔහු දක්ෂ පුද්ගලයන්ට පක්ෂය තුළින් බිහිවෙන්න ඉඩ දුන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂය අවුරුදු 30 ක් තුළ විනාශ වෙලා ගියා. ඒ නිසා ඔහුත් සමඟ අපිට කිසිදු ගිවිසුමක් අවශ්‍ය වෙන්නේ නෑ. චන්ද්‍රිකා , මහින්ද , මෛත්‍රී , ගෝඨාභය වැනි අදක්ෂයෝ පත්වුණේ රනිල් වික්‍රමසිංහගේ උදව්වෙන්. ඔහු ආත්මාර්තකාමී දේශපාලඥයෙක්. ඔහු රාජපක්ෂලාගේ උකුලේ හැදෙන පුද්ගලයෙක්. ඔහු සමඟි අපිට කිසිදු ගනුදෙනුවක් නෑ. රනිල් වික්‍රමසිංහ සමඟ සමගි ජනබලවේගය කිසිදවසක ඩීල් දාන්නේ නෑ.

ඉදිරි සමගි ජනබලවේග ආණ්ඩුව පිහිටුවීමේ කිසිදු ගැටලුවක් නෑ. ආණ්ඩුව පිහිටුවීමෙන් පසු රටේ ණය ප්‍රමාණය කළමනාකරණය කර ගන්නේ කොහොමද , රටට සංවර්ධනය කරන්නේ කොහොමද , නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද , අධිකරණ පද්ධතිය ස්ථාපිත කරන්නේ කොහොමද , සංවර්ධනය කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳ අවදානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම හොරකම් කරන්නේ නැතිනම් , කොමිස් ගහන්නේ නැතිනම් රට දියුණු කරන්න පුලුවන්.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ උත්සහ කරන්නේ වෛරයෙන් , ජනතාවගේ දුප්පත්කමෙන් ජනතාවගේ ඡන්දය ඩැහැ ගන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට හැකියාවක් , පළපුරුද්දක් නෑ , එවැනි පිරිසකට රටක් පාලනය කරන්න බෑ. මේ ගැන ජනතාව තේරුම් ගත යුතුයි. ජනතා විමුක්ති පෙරමුණට සම්මාදම් වලින් රට දියුණු කරන්න බෑ. ඒක ජනතාව තේරුම් ගන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණ ඇමැතිධූර භාරගත් අවස්ථාවල රට වෙනුවෙන් කිසිවක් කරලා නෑ. එවැනි පිරිසකට රට දෙන්න පුලුවන් වාතාවරණයක් නෑ. රට විශාල අගාධයකට වැටිලා තිබෙන්නේ. ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දීලා වැටුණ අගාධයේ නැවත වතාවක් වැටෙන්න නැතිව රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් හොද පිරිසක් පත් කරන්න ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා.

මැයි දිනයෙන් ආරම්භ කළ ඒ ජයග්‍රාහි ගමන හරහා ඉදිරියේදී එන සියලුම මැතිවරණ වලට සාර්ථිකව මුහුණ දෙන්න සමගි ජනබලවේගය බලාපොරොත්තු වෙනවා. අවුරුදු 20 ක් පස්සට ගියපු රට නැවත ඉදිරියට ගෙන යන්න පුලුවන් අත්තිවාරම දාලා සංවර්ධනය කරන්න පුලුවන් සමගි ජනබලවේගයට පමණයි.‘‘