විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පසුගිය සතියේ මහනුවර බලා පිටත්ව යාමට පෙර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති විද්වත් කතිකාවට සම්බන්ධවුයේ පක්ෂය සමග සම්බන්ධවී සිටින විද්වත් වෘත්තිකයින් හමුවෙමිනි.

එතැන් සිට මහනුවර බලා පිටත්ව ගිය සජිත්, මහනුවර සිට කොළඹ බලා පැමිණෙන පා ගමනට සම්බන්ධවීමට නුවර බලා පිටත්ව ගියේය. පා ගමන ආරම්භවීමට පෙර දිනයේදී නුවර බලා පිටත්ව ගිය සජිත් එදින රාත්‍රියේ මහනුවර ගත කළේය. පසුදා උදෑසන හයට ඔහු දළදා මාළිගාවට ගියේ, දළදා වහන්සේ වැද පුදාගෙන ආශිර්වාද ලබාගැනීමටය. ඉන් පසුව මහනායක හිමිවරුන්ද හමුවී ආශිර්වාද ලබාගත්තේය.

26 පෙරවරු නමයට මෙම පාගමන ආරම්භ වූ අතර ඊට පැයකට පමණ පෙර සිටම දහස් ගණනක ජනකායක් මහනුවර නගරය වෙත පැමිණෙමින් සිටියහ.මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ආසන සියල්ල ආවරණය වන පරිදි පැමිණි ජනකායගෙන් පෙරවරුවේ මහනුවර නගරය පිරී ඉතිරී ගියේය.පෙරවරු 8 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ පෙළපාලිය පෙරවරු නමය හමාර වන තෙක් ආරම්භ කිරීමට නොහැකි වූයේ ඊට එක්ව සිටි විශාල ජනකාය හේතුවෙනි.මහනුවර පොදු වෙළඳපළ අබියසින් ආරම්භ වූ පෙළපාලිය පේරාදෙණියට ළඟා වන විට දහවල් 2 පමණ විය.

“පළවෙනි දවසෙ මේ තරම් සෙනගක් එයි කියලා හිතාගන්න බැරිවුණා”

මහලේකම් රංජිත් කීවේ අසල සිටි ලක්ෂ්මන් කිරිඇල්ලට ය.

“කිරිඇල්ල ඇමතිතුමා වැඩක් කළොත් ඉතින් උපරිමයිනෙ”

ගයන්ත කීවේය.

පැමිණි  සිටි විශාල ජනකාය හේතුවෙන් සංවිධායකයින්ට පාගමනේ පෙළපාලිය  හසුරුවා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර හරින් ප්‍රනාන්දු,මනුෂ නානායක්කාර,කිංස් නෙල්සන්,නලින් බණ්ඩාර,හර්ෂද සිල්වා,හෙක්ටර් අප්පුහාමි ඇතුළු මන්ත්‍රීවරු පෙළපාලිකරුවන් හැසිරවීමේ කටයුතුවල යෙදෙනු දැකිය හැකි විය.

“නුවරින් පා ගමන් ගියපු හැම වතාවෙම නතර වුණේ ආණ්ඩු පෙරළිලා.ජේ ආර් ජයවර්ධන මහත්තයා පා ගමනක් ආවා.මැතිනිගේ ආණ්ඩුව පෙරලුනා.ගාමිණි අතුී අතුකෝරල මහත්තයා එහෙම ජන බල මෙහෙයුම ආවා.චන්ද්‍රිකාගේ ආණ්ඩුව පෙරලුනා.මෙදා වෙන්නෙත් ඒකමයි”

මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අතීතය සිහිපත් කරමින් කීවේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආසන්නයට පෙළපාලිය පැමිණෙන විට විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයේ ජනතාවාදී බුද්ධි මණ්ඩපයට අනුබද්ධ විශාල පිරිසක් එක්ව විපක්ෂ නායකතුමන්ව පිළිගනු ලැබීය.

පළමු දිනයේදී පෙළපාලිය අවසන් කළ සජිත් රාත්‍රී ආහාරය ගැනීමට පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබුණේය. ගමන් වෙහෙස නොතකා සජිත් රාත්‍රී වන තුරුම පා ගමනේ සංවිධාන කටයුතු ගැනත්, පාර්ලිමේන්තුවේ දේශපාලන කටයුතු ගැනත් අවධානය යොමු කළේය.

“නායකතුමාට මහන්සි නැද්ද පයින් ගිහින්”ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා ඇසුවේය.

“මට මොන මහන්සියක්ද? මට මේවා හොදට පුරුදුයි”සජිත් කීවේ පේරාදෙනිය නගරයේ බොහෝ පිරිසක් එක්ව සිටීම නිසා ඔවුන්ට තමන් නොපෙනුන නිසා වාහනයකට නැග ටික දුරක් ගමන් කිරීමට සිදුවූ ආකාරයද කීවේය.

“සුද්දෝ අපේ රට යටත් කරගත්තේ නුවර අල්ලලා. අපි නුවරින් පටන්ගෙන කොළඹට ඇවිත් රාජපක්ෂලා එලවනවා”නලින් බණ්ඩාර කීවේය.

“නුවර ඉදලා කොළඹට එන පා ගමන් හැම එකක්ම විශේෂයි. නුවර ඉදලා කොළඹට පා ගමන් ආපු හැම වතාවකදීම ආණ්ඩු පෙරලලා තියෙනවා. ජන බල මෙහෙයුමේ අපි ආපු හැටි මතකයි. එතකොට ගාමිණී අතුකෝරළ ජීවතුන් අතර. ගාමීණි පා ගමනේ මුල ඉදලා අගටම අපිත් එක්ක ආවා” රාජිත සේනාරත්න කීවේ අසල සිටි තලතා අතුකෝරළ පෙන්වමිනි.

“අපේ අයියා පයින්ම කොළඹට ආපු වගේ නායකතුමත් පයින්ම කොළඹට එනවානේ”තලතා අතුකෝරළ මන්ත්‍රීවරිය අසන විට සජිත් කීවේ තමන් ජනතාව සමග පයින්ම කොළඹට එන බවය.

“අපි පා ගමන ආවාට පාර්ලිමේන්තුවේ තියෙන වැඩ කොටස අතපසු කරන්නේ නෑ. මම පාර්ලිමේන්තුවේ වෙන හැම දෙයක්ම බලාගෙන ඉන්නේ”මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.

සජිත් ප්‍රමුඛ මන්ත්‍රීවරු පා ගමනින් කොළඹ එද්දී ආණ්ඩුවේ ඇමැතිකම් දැරූ කණ්ඩායමක් සජිත්ට නොයෙක් චෝදනා කරමින් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා තිබුණේය. මේ ගැන සජිත්ගෙන් පක්ෂයේ නායකයින් විමසූ විට ඔහු කීවේ මම අද සවසට ඒකට උත්තර දෙනවා යැයි කියාය. රාජපක්ෂවරුන්ගේ සෙරෙප්පු සුප් බීපු අයගේ කතාවලට තමන් කලබල නොවන බව සජිත් කීවේ ජනතාව අතර සිටිමින්ය.

මේ අතර මාවනැල්ලේදී ජනතාව ඇමතූ සජිත් එම චෝදනාවන්ට උත්තර දුන්නේය. එදින ජාත්‍යන්තර කපුටු දිනය වීමත් විශේෂ විය.