රනිල් වික්‍රමසිංහ මහතා කුමන පක්ෂයකින් ජනාධිපති අපේක්ෂකත්වය දරුවත්, ජනතා විමුක්ති පෙරමුණ කුමන නමකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් උනත් නියත වශයෙන්ම ලබන මැයි දින රැලිය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරය දරන සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පවත්වන බව අශෝක අබේසිංහ මහතා සමගි සේවක මැයි දින යෝජනාව ඉදිරිපත් කරමින් සපත කර සිටියේය.

එතුමා ඉදිරිපත් කළ සමගි සේවක සංගමයේ මැයි දින යෝජනාව,

අකාර්‌යක්ෂම කළමනාකරණය, දූෂණය හා වංචාව නිසා බංකොලොත් වු රටේ රාජ්‍ය ආදායම උපායා ගැනීමට ආණ්ඩුව වැඩකරන ජනතාව මත අසීමිත බදු බරක් පටවා ඇත.දිනෙන් දින එල්ලවන ජීවන වියදමට ප්‍රමාණවත් වැටුපක් හෝ ලබා දීමට අපොහොසත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාව මත පටවා ඇති උපයන විට ගෙවීමේ බදු සීමාව සහ ප්‍රතිශතයන් 2021 වර්ෂයේ තිබු බදු සීමාවට සංශෝධනය කල යුතු යැයි ද,

ආර්ථික අර්බුදයට මුවා වී සිදු කරන්නට උත්සාහ දරණ ලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය අතයට ගණුදෙනු මගින් ගජමිතුරන්ට විකුණා දැමීමට දරණ උත්සාහය වහාම නතර කොට රාජ්‍ය නියාමනය සහිතව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමට යාන්ත්‍රණයක් සැකසිය යුතු යැයිද,

විවිධ ක්ෂේත්‍ර තුළ ගජමිතුරන්ට සැලසු බදු සහන තුළින්,රටට අහිමි වු බදු අදායම යලි ලබා ගැනීමට සහ බදු වංචාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව නොපමාව පියවර ගත යුතු යැයිද,

සේවක අර්ථ සාධක අරමුදල ප්‍රශස්ථකරණය තුළ අඩු පොලී අනුපාතයකින් ප්‍රතිලාභ හිමි වුවන්ට අහිමිවු පොලි ආදායම අදාළ පොලිය සමග ලබා දිය යුතු යැයිද,

මෙම මැයි දිනයේදී අප ආණ්ඩුවට බලකර සිටිමු.