වත්මන් ජනාධිපතිවරයාට මිහින්තලා පුදබිමේ විදුලි බිල සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගුන හෙයින් එහි විදුලිය විසන්ධි කළත් තමා පත් කළ රාජපක්ෂවරුන්ගේ නිවසේ විදුලිබිල ලක්ෂ 26ක් වීම කිසිදු ප්‍රශ්නයක් වී නොමැති බවත් මේ වෙනතෙක් ඔවුන්ගේ විදුලිය කප්පාදු කර නොමැති බවත් වාර්තාවන ආකාරයට අනුරාධපුර මහමළුවේ පවා විදුලිය කැපූමට සූදානම් බවත් මහමළුවේ විදුලිය කපන්න අණ දෙන රජයට මැදමූලන විදුලිය කැපීමට අණ දිය නොහැක්කේ මන්ද ? කියා ගැටලුවක් පැන නගින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (6) මහරගම පැවැති ජන පවුර වැඩසටහන අමතමිනි.

රට විනාශ කළ මැදමූලන රාජපක්ෂලාට වත්මන් රජයේ ආරක්ෂාව ඇති බවත් මහා පවුර බැද ඔවුන් ආරක්ෂා කරන බවත් ඒ නිසා මේ අවස්ථාවේ රටට ඇති එකම විකල්පය විසදුම සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධාන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේ ම කොරෝනා වසංගත සමයේ නිර්මාණය වූ නිව්නෝමල් නම් වචන තුළින් නව සාමාන්‍යයක් ඇති වීම හැගවෙන බවත් එම ක්‍රියාවලියම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ආර්ථික සංකෝචනය කරලා ජන ජීවිත කුඩා කරලා නව සාමාන්‍යකරණ තත්ත්වයක් ඇති කර ඇති බවත් ඒ තුළ හැමදේම හරි යැයි පෙනී ගියත් සෑම දෙයක්ම නව සාමාන්‍යකරණය වී ඇත්තේ ජනතාව මතුපිට පීඩනය සහ අසහනය පටවා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තව ද විදුලි බිල සියයට 500කින් වැඩි වී ගෑස් තෙල් බඩු මිල පවා ඉහළ ගොස් ඇති බවත් අතීතයේ පැවැති ජීවත් වීමේ තත්ත්වය මේ වන විට බරපතල තත්ත්වයක් බවට පත්ව ඇති බවත් එය බංකොලොත්භාවයේ නව සාමාන්‍යකරණයක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හොරකම, වංචාව, දූෂණය, කප්පම්, මිනිමැරුම්, අල්ලස ආදිය වැඩිපුරම සිදු වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නව සාමාන්‍යකරණය තුළ බවත් හදිසි අවස්ථා යැයි පවසා බාල බෙහෙත් වෙළෙඳපොළට නිකුත් කිරීම තුළ මිනිසුන් මිය යෑම, ඖෂධ ආසාධන ඇති වී මිනිසුන් අන්ධ වීම ආදිය සිදුවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වැස්ස වහින එක පාලනය කිරීම ආණ්ඩුවලට නොහැකි වුවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත සහ පුරෝකතන මත පදනම්ව නිසි කළමනාකරණ ක්‍රියාවලියක් සිදු කළේ නම් උඩවලව ජලාශ්‍රයේ ජලය හිඟ වීමක් සිදු නොවන බවත් මේ හේතුවෙන් උඩවලව ව්‍යාපාරයේ වැව් සහ අමුණු රැසක ජලය අඩු වී ගොවි ජනතාව විශාල පීඩනයකට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සතියකට අක්කර අඩි 1500ක් 2000ක් පමණ ජලය නිකුත් කරන ලෙස ජනතාව ඉල්ලා සිටියත් එය සිදු නොකළ බවත් ජලය නොමැති ගැටලුවට වඩා මෙහි ඇත්තේ ජල කළමනාකරණය කිරීමේ ගැටලුවක් බවත් යූඇන්පීයේ සිටින සමයේ සිට වත්මන් ජනාධිපතිවරයා ගොවිතැන සහ කෘෂිකර්මාන්තයට ඒ තරම් කැමැත්තක් නොමැති බවත් සෑම අවස්ථාවකම උත්සාහ කළේ ගොවිතැන සහ කෘෂිකර්මාන්තය නතර කිරිමට බවත් ඒ සදහා කදිම උදාහරණය වන්නේ වත්මන් ජනාධිපතිවරයා එදවස කුඹුරු බිම් ගොඩ කිරීමට පවා උත්සාහ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවියන්ට ජලය අහිමි කර ඔවුන්ට වන්දි ලබා දී සහල් පිටරටින් ගෙන ඒමට කැබිනට්ටුවේදී සාකච්ඡා කර ඇති බවත් ඔවුන් ජලය ඉතිරි කර ගන්නේ විදුලිය නිෂ්පාදනයට බවත් එහෙත් පසුගිය කාලයේ සාමාන්‍ය ජනතාවට සියයට 500කින් විදුලි බිල වැඩි කළේ අඛණ්ඩ විදුලි සැපයුම සදහා බවත් මේ හේත–ුව නිසා ගොවියාට ගොවිතැනට අවශ්‍ය ජලය නොලැබී යන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ලොකු ලොකු මන්දිරවල වායු සමීකරණ කාමරවල සිටින ඇමතිවරුන්ට සාමාන්‍ය ජනතාවගේ දුක නොතේරෙන බව යි. උඩවලව ආශ්‍රිතව ක්‍රියාත්මක වන ආර්ථික ක්‍රමවේදය මේ ඇතිව තිබෙන ජල ගැටලුවත් සමඟ කඩා වැටිය හැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මිහින්තලේ විදුලිය කප්පාදු වන විට එහි විදුලි බිල ගෙවිමට අතිවිශාල මුදලක් ඇති විකල්ප පක්ෂයන්ට නොහැකි වූයේ ඇයි ද කියා ගැටලුවක් මතුවන බවත් ඔවුන්ගේ මුදල්වලින් සිදු කරන්නේ බස් රථවලින් මිනිසුන් ගෙන්වා ජනතාව ඇන්දවීම බවත් මේ වන විට පොදු අපේක්ෂයකු නොව පොදු ඇන්දවිල්ලක් ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේම ජනතාවට බරක් නොවී රටට අවශ්‍ය මුදල් සහ ඩොලර් ලබා ගැනීමේ හැකියාවක් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට ඇති බවත් වසර 75ක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ පෙර කිසිදු විපක්ෂයක් නොකෙරූ වැඩ කොටසක් පසුගිය වසර කිහිපයේ හුස්ම, සක්වල වැනි වැඩසටහන් හරහා සමගි ජන බලවේගය සිදු කළ බවත් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

 https://www.youtube.com/watch?v=eKbH9fzMtcs[/embedyt]