ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය ඉතාමත් දරුණු මට්ටමකට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඊයේ (06) මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසීය.

එතුමා අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ සෞඛ්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා සියලු ජනතාව පෝලිමක සිටින බවත් එක් පුද්ගලයෙකුගේ ජීවිතයත් බේරීමට තවත් පුද්ගලයෙකුගේ ජීවිතය කැප කිරීමට තරම් දරුණු තත්ත්වයකට රටේ සෞඛ්‍යය පරිවර්තනය වී ඇති බවයි.

මෙවැනි වාතාවරණයක් තුළ වත්මන් දේශපාලුවන් සහ බලධාරීන් නිදහස් සෞඛ්‍ය යන වචනය පාවිච්චි කරමින් ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ විශාල දූෂණ වංචා සිදුකරන බවත් මේ හේතූන් මත රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ජනතාවගේ ඇති විශ්වාසය කඩ වී ඇති බවත් එතුමා පැවසීය.

මෙම සෞඛ්‍ය ගැටළුව වර්ධනය වීමට ආරම්භ වූයේ 2020 වසරේ බවත් ඉන්පසු 2021-2022 වසර වනවිට මෙම ගැටලුව ඉතාමත් උග්‍ර තත්වයකට පැමිණි බවත් කාලයක සිට පැවති ඖෂධ හිඟය පිළිබඳව රාජ්‍ය තොරතුරු අධ්‍යක්ෂක ජෙනරාල් වරයාගෙන් ප්‍රශ්න කළ විට ඔහු කිසිදු ඖෂධ හිඟයක් නොමැති බව පැවසූවත් එම ප්‍රකාශයට පිළිතුරු ලෙස වෛද්‍යවරුන් පනහකට අධික පිරිසක් රෝහල්වල ඉතා දරුණු ඖෂධ ගැටළුවක් පවතින බව මාධ්‍ය වෙත හෙළිදරව් කළ බවත් එරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.