ජීවමාන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් වන්නේ මාධ්‍ය නිදහස බවත්, එය මානව අයිතිවාසිකම්වල උල්පත වූ වන බවත්, යෝජිත විකාශන නියාමන කෙටුම්පත හරහා මධ්‍යයේ මළගම කරා ගෙන යන බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මෙම යෝජිත කෙටුම්පත නීතිගත කර මාස 6ක් ගිය පසු සියලුම මාධ්‍ය ආයතන වල බලපත්‍ර අහෝසි වන බවත්, නැවත ලබාගන්නා බලපත්‍ර අවුරුද්දක් පසා ලියාපදිංචි කළ යුතු බවත්, යෝජිත කෙටුම්පතින් පිහිටුවන කොමිෂන් සභාව සර්වබලධාරී ආයතනයක් වන බවත්ය.

එමනිසා මාධ්‍ය ආයතන වල ආයුෂ කාලය තීරණය වන්නේ ආණ්ඩුවේ ගුණ වර්ණනා කරන තාක්කල් පමණක් බව කී පීරිස් මහතා කුමන කොමිෂන් සභා පත් කළත් මාධ්‍ය ආයතන පවත්වා ගෙන යනවද නැද්ද අවසාන තීරණය ගන්නේ ජනාධිපතිවරයා බවත්ය.

යෝජිත කෙටුම්පත නීතිගත වුවහොත් සත්‍ය තොරතුරු රටට හෙළි කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බවත්, එමගින් ඉහවහා ගිය වංචා දූෂණ සිදු වන බවත්, මෙම යෝජිත කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු එයට විරුද්ධව අධිකරණ හා දේශපාලන ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.