පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ ස්වයං චරිතාපදානය ” මගේ කථාව ” කෘතිය 2024 මාර්තු 05 වන අඟහරුවාදා ප.ව. 3.45ට කොළඹ 10, ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී දොරට වැඩීමට කටයුතු සුදානම්කර ඇත.

ලංකේය දේශපාලඥයකු විසින් සිංහල බසින් රචිත ප්‍රථම ස්වයං චරිතාපදානය ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ ” මගේ කථාව ” කෘතිය වේ.

හිටපු ජනාධිපතිවරුන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, ගරු කථානායකතුමන්, ගරු විපක්ෂ නායකතුමන් ඇතුළු මැති ඇමැතිවරුන් හා විදෙස් තානාපතිවරුන් ඇතුළු මහත්ම මහත්වරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතව ඇත.

මෙම වැඩසටහනේදී වල්පොල රාහුල ආයතනයේ අධ්‍යක්ෂ හා කැලණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය ගල්කන්දේ ධම්මානන් ද ස්වාමීන් වහන්සේ, ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය රංග කලංසූරිය මහතා, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්, ප්‍රවීණ මාධ්‍යවේදී ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා පොත පිළිබඳව අදහස් දැක්වීමට නියමිතව තිබේ.

එදා මෙදාතුර තම ජීවිතයේ ලැබූ අත්දැකීම් සම්භාරයක් බෙදාගත හැකිවන අයුරින් පරිච්ඡේද 19ක් යටතේ තම බාලකාලය, පාසැල් අධ්‍යාපනය විශ්ව විද්‍යාල අධ්‍යාපනය, නීති විද්‍යාල අධ්‍යාපනය ශිෂ්‍ය සටන් සමඟ දශක පහක ප්‍රතිපත්තිමය දේශපාලනික ගමන්මග හා පෞද්ගලික ජීවිතය ඇතුළත් මෙම කෘතිය ඉම්තියාස් බාකීර් මාකාර් මහතා  අකුරු කල ආනන්ද විද්‍යාලයේදීම දොරට වැඩීම සුවිශේෂී වේ.

මගේ කථාව