ශ්‍රී ලංකා කණ්ඩායම සයවන වරටත් ආසියානු කුසලානයක පහස මව්බිමට රැගෙන ඒමට සමත් විය.

තරගාවලිය ආරම්භයේදී දසුන් ඇතුළු සිංහ පෝතකයින්ට විචාරකයින් සලකනු ලැබුවේ තරගාවලියේ අඩුම දක්ෂතා ඇති සහ අඩුම අත්දැකීම් ඇති කණ්ඩායම ලෙසයි.

අත්දැකීම් කෙසේ වෙතත් යොවුන් සිංහයින්ගේ දක්ෂතා ආසියාවේ හොඳම කණ්ඩායම බවට පත්වීමට ඉතාම සුදුසු බව ඔවුන් ආසියානු කුසලානයේ සියලු කණ්ඩායම් පරාජය කරමින් ඔප්පු කර තිබේ.

අද තරගය ආරම්භ වුයේ විචාරක අනාවැකි වලට අනුව කාසිය වාසිය ජයග්‍රහණය කරන කණ්ඩායම ජයග්‍රහණය කළා හා සමාන තත්වයකිනි. ශ්‍රී ලංකාවට එරෙහිව තිබු එකම අවාසියත් ප්‍රථමයෙන් පන්දුවට පහරදී මෙවර ආසියානු කුසලානයේ තරගයක් ජයග්‍රණය නොකර තිබිමයි.

කෙසේ නමුත් කාසියේ වාසිය පරාජය වී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම අවසාන කලේ විශිෂ්ට ආකාරයෙනි.

භානුක පන්දු 45ක දී ලකුණු 71 ලැබූවේය. ඇත්තෙන්ම අද වාසනාවත් ඔහු සමග සිටියේය. උඩ පන්දු දෙකක් අත්හැරිනි.  එම උඩපන්දු දෙකම අත්හැරීම පසුපස ශඩාබ් ඛාන් සිටියේය. හරීස් රවුෆ් යැවූ 17 ඕවරයේ තුන්වන පන්දුවේ දී භානුක එල්ල කළ අහස උසට නැගී බොහෝ වේලාවක් ගුවනේ පැවති පන්දුව උඩපන්දුවක් ලෙස රැක ගැනිමට ශඩාබ්ට හැකිවූයේ නැත.

එය ඔහු අතින් ගිලිහී ගියේය. ඒ වනවිට භානු ලකුණු 50 සම්පූර්ණ කර තිබුණේ නැත. ඔහු සිටියේ ලකුණු 46 ය.

18 වැනි ඕ්වරයේ අවසන් පන්දුවේ දී  මොහොමඩ් හස්නින් ගේ පන්දුවට ඉහළින්ම එල්ල කළ පහර  උඩ පන්දුවක් ලෙස රැක ගනීමට ගොස්  අසීෆ් අලි සහ ශඩාබ් ගැටුනි. අෆීස් අලී අතේ තිබූ පන්දු හතරේ සීමාවට ඉහළින් විසි වී ගියේය. ලකුණු 06ක් සටහන් විනි.