හයවන වරටත් ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ සත්කාරක සිංගප්පූරුව ලකුණු 63-53ක් ලෙස පරාජයට පත්කරමින්. අතිශය උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු කාර්තු දෙකෙහිම පෙරමුණ ගැනීමට සමත් වූයේ සිංගප්පූරුවයි. පිළිවෙලින් ලකුණු 19-13ක් සහ 30-27ක් ලෙස සිංගප්පූරුව පෙරමුණ ගත්තා.

එම කාර්තු දෙකෙහි සිදු වූ අත්වැරදීම් සහ අතපසුවීම් සියල්ල මගහරවාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 46-38ක් ලෙස තෙවන කාර්තුවේ පෙරමුණ ගත්තා.

සිව්වන සහ අවසන් කාර්තුවේ සිංගප්පූරුව යළි සටන්කාමී තරග විලාසයක නිරත වුව ද එය තරගය ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් වූයේ නැහැ. එතෙක් මෙතෙක් ආසියානු ශූරතා දැල්පන්දු ඉතිහාසයේ වැඩිම වරක් ශූරතාවය දිනා ඇති ශ්‍රී ලංකා කණ්ඩායම හයවන වරටත් ශූරතාවය දිනාගැනීම විශේෂත්වයක්.

මීට පෙර 1989,1997,2001,2009 සහ 2018 යන තරගාවලිවල ශුරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

ඊට අමතරව ශ්‍රී ලංකාව සිව්වතාවක් අනුශූරතාවය ද දිනා තිබෙනවා. 2023 ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය සඳහා දැනටමත් සුදුසුකම් ලබාඇති ශ්‍රී ලංකාව ඒ සඳහා සහභාගි වන්නේ ආසියානු ශූරියන් ලෙසයි.

සුපුන් රජිත හෙට්ටිආරච්චි