එළඹෙන අප්‍රේල් 5 වැනි දින සමගි ජන සන්ධානය එළිදැක්වීමට අපි බලාපොරොත්තු වන බවත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැයි දිනයට ඉතිහාසයේ මැයි දිනයකට පැමිණෙන විශාලතම පිරිස මෙවර මැයි දිනයට සම්බන්ධ කරගැනීමට සුදානම් බවත් සුජීව සේනසිංහ මහතා පවසයි.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (28) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ස.ජ.බ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා මේ බව පැවසීය.

එතුමා වැඩිදුරටත් අවධාරණය කරමින් කියා සිටියේ සමගි ජනබලවේගයේ යාන්ත්‍රණය මේ වනවිට ඉතාමත් ශක්තිමත් වී තිබෙන බවත් වැටී තිබෙන තත්වයෙන් රට ගොඩගැනීමට අද්දැකීම් තිබෙන සමගි ජන බලවේගය සතුව සිටින බවත්ය.

‘‘අවසන් තුරුම්පු දෙක තුන ඉදිරිපත් කරලා කෙසේ හෝ බලයේ රැඳී සිටින්න ජනාධිපතිවරයා උත්සහ කරනවා. පාර්ලිමේන්තු මැතිවරණය නැවත කරළියට ගෙනැවිත් චකිතයක් ජනතාව තුළ ඇති කරලා ජනාධිපති මැතිවරණය ව්‍යාකූල තත්ත්වයක් ඇති කරන්න ජනාධිපතිවරයා උත්සහ කරනවා. අනිවාර්යෙන්ම ව්‍යවස්ථාව අනුව ජනාධිපති මැතිවරණය පැවැත්විය යුතුයි. සමගි ජන බලවේගයේ යම් පිරිසකට ජනාධිපතිවරයා ආරාධනා කරන බවට විවිධ කතා පැතිරෙමින් තිබෙනවා. නමුත් එය සිදුවෙන දෙයක් නෙවෙයි. ජනාධිපතිවරයාගේ අවසන් තුරුම් තමයි මේ ක්‍රියාත්මක කරමින් යන්නේ. ජනාධිපතිවරයාට තිබෙන්නේ සියයට 5 ක ගේ ඡන්ද ප්‍රමාණයක්. කලින් සියයට 3 ක වගේ ප්‍රමාණයක් තිබුණා. ඒ ප්‍රමාණය දැන් සියයට 5 ක් වගේ වෙලා තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාට ජයග්‍රහනය කරන්න අසීරුයි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කිහිපදෙනෙකුවත් පාර්ලිමේන්තුවට එන ක්‍රමවේදයක් හදා ගන්න ජනාධිපතිවරයාට සිදුවෙනවා. නමුත් ගිලෙන නැවකට පාක්ෂිකයින් නගින්න සුදානම් නෑ.

ශක්තිමක් පක්ෂයක් ලෙස සමගි ජනබලවේගය මේ වනවිට රටේ ව්‍යප්ත වෙමින් පවතිනවා. 77 ට පසුව නැවත දක්ෂ කැබිනට් මණ්ඩලයක් නිර්මාණය කරන්න පුලුවන් පිරිසක් සමගි ජනබලවේගය සමඟ එකතු වෙලා සිටිනවා. වංචා දූෂණ චෝදනා නැති පිරිසක් තමයි සමගි ජන බලවේගය සිටින්නේ. සමගි ජනබලවේගයේ සිටින දක්ෂ කණ්ඩායමෙන් කිහිපදෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වෙයි කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ බලාපොරොත්තුව ඉවත් කරන්න ජනාධිපතිවරයාට සිදුවෙනවා.

අප්‍රේල් 5 වැනිදා සමගි ජන සන්ධානය එළි දක්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මැයි දිනයට ඉතිහාසයේ පැමිණි විශාලම පිරිස මෙවර මැයි දිනයට සම්බන්ධ කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. සමගි ජනබලවේගයේ යාන්ත්‍රණය මේ වනවිට ශක්තිමත් වෙලා තිබෙනවා. අපි බලාපොරෙත්තු වෙනවා පාවෙන ඡන්ද ප්‍රමාණයත් සමගි ජනබලවේගය දෙසට හරවාගන්න.

අද්දැකීමක් නොමැති පුද්ගලයෙක් රටේ ජනාධිපති කරලා මුළු රටම විනාශ වුණා. ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය තුළ සිදුවුණ ඝෘණාත්මක දේවල් අති විශාලයි. ජනතාව ගත්ත අවසනාවත්ත තීන්දු තීරණ නිසා තමයි මෙවැනි විනාශයක් රටට සිදුවුණේ. නැවත එවැනි විනාශයක් සිදුවුනොත් රට ගොඩගැනීමට නොහැකි වෙයි.

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 100 කට ආසන්න ණය ප්‍රමාණයක් ගෙවන්න තිබෙනවා. ඒ ණය ප්‍රමාණය තවත් අවුරුදු දෙකකින් තුනකින් ගෙවන්න සිදුවෙනවා. රට දියුණු කර ගමන් ණය ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමට සිදුවෙනවා. ඒ ශක්තිය සමගි ජනබලවේගයට තිබෙනවා.

94 න් පසුව හොද නායකයින් පිරිසක් රටේ බිහිකරන්න අපට නොහැකි වුණා. ඒ නිසා ඊළඟ ජනාධිපතිවරණයේදී එම අවස්ථාව
සමගි ජනබලවේගයට ලබාදුන්නොත් 94 හිටපු නායකයන් සිදුකළ සංවර්ධනයට වඩා වැඩි සංවර්ධනයක් සිදුකරන්න හැකියාව ලැබෙනවා. රටේ තිබෙන බංකොලොත්භාව නැති කරලා හොද දිශාවකට රට අරගෙන යන්න පුලුවන් ශක්තිය සමගි ජන බලවේගයට තිබෙනවා. රටවල් සමඟ ගනුදෙනු කරන්න , ණය කළාමනාකරණය කර ගන්න , ආයෝජන ගේන්න , අධ්‍යාපන ක්‍රමය නවීකරණය කරන්න , සෞඛ්‍ය පද්ධතිය වර්ධනය කරන්න පුළුවන් වෙන්නේ නිවැරදි ප්‍රතිපත්තියක් තිබෙන දක්ෂ පුද්ගලයින්ට පමණයි. එවැනි පිරිසට රට භාර දිය යුතුයි. එවිට රට නිවැරදි දිශාවකට රට රැගන යන්න පුලුවන්. ආණ්ඩුවේ සිටින ඇමැතිධූර දරන පිරිස් සමගි ජනබලවේගය සමග එකතුවෙන්න කැමැත්ත පළ කරලා තිබෙනවා. නමුත් දේශපාලන වාසි බලාගෙන වැඩකරන පිරිස් පක්ෂයට එකතු කරගන්න කිසිදු සුදානමක් නෑ. ප්‍රතිගත්තිගරුක පිරිස් තමයි සමගි ජනබලවේගය සමඟ එකතු කර ගන්නේ. එහෙයියන්ව පක්ෂයට සම්බන්ධ කරගන්න කිසිදු වුවමනාවක් අපිට නෑ.

පොදුජන පෙරමුණ සහ රාජපක්ෂවරු අද ජීවත් වෙන්නේ දේශපාලනයෙන්. ඔවුන්ට තනතුරු නැතිව ජිවත් වෙන්න බෑ. නාමල් රාජපක්ෂලාට දේශපාලනයෙන් අයින් වුණොත් ජිවත් වෙන්න බෑ. රාජපක්ෂ පවුල දේශපාලනය කියන්නේ ව්‍යාපාරයක්.
කෙනෙක් පොදුජන පෙරමුණට ඡන්දය දුන්නොත් ඔහුගේ මොළය පරික්ෂා කරන්න වෙනවා. රාජපක්ෂලා තමන්ගේ පවුලේ ගැන විතරයි හිතුවේ. මිලියන 22 කගේ සිහින රාජපක්ෂවරු විසින් බොඳකරලා දැම්මා. අවුරුදු 30 රට සංවර්ධනය කරන්න අවස්ථාව ලැබුණේ නෑ. රනිල් වික්‍රමසිංහගේ බල තන්හාව නිසා රාජපක්ෂවරු දේශපාලනයේ පිනුම් ගැහුවා.‘‘