දේශීය ආහාර අපනයන කරුවන්ට කිසිඳු අවස්ථාවක් නොදී වාහන උපාංග ගෙන්වන පුද්ගලයන්ට ආහාර ගෙන්වීමට අවසර ලබා දී තිබෙන බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් IMF පිළිබඳව අවධානය යොමු කල අවස්ත්වාවේ IMF සමඟ කටයුතු සිදුකලා නම් 2021 වන විට රට යථා තත්වයට පත්වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට සහබාගී වෙමින් පැවසිය.

පොහොට්ටු ආණ්ඩුව 2019 මැතිවරණයට පෙර දේශීය කෘෂිකර්මාන්තය නගාසිටුවන බව පැවසුවත් වර්තමානය වන විට සහල්, පොල් , බිත්තර පවා රටින් ගෙන්වන තත්වයකට රට පත්ව ඇති බව කබීර් හෂීම් මහතා කියා සිටියේය.

මෙම මධ්‍ය හමුවේදී කබීර් හෂීම් මහතා වැඩිදුරටත් පැවසූ අදහස්,

‘‘රජය සහල් ආනයන කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයාගේ ජීවන බර අඩු කිරීමටනම් අපි කෘෂිකර්ම ඇමැතිවරයාගෙන් අහනවා ගොවියාගේ වී වලට දිගටම සාධාරණ මිලක් ලබාදෙනවාද කියලා.  ඒ වගේම සහල් ආනයනයෙන් ගොවීන්ට කිසිදු හානියක් නොවෙන්න ගෙන තිබෙන පියවර පිළිබඳ ගොවියන් දැනුම්වත් කිරීම රජය සතු වගකීමක්.

දේශිය කෘෂිකර්මාන්තය නගා සිටුවන බව කියපු පොහොට්ටු ආණ්ඩුව පොල් , බිත්තර පිටරටින් ගේන තැනකට රට වැටිලා තිබෙනවා.  ශ්‍රී ලංකාවට බිත්තර , කුකුල් මස්  අපනයනය කිරීමේ ශක්තිය තිබෙනවා. නමුත් වර්තමාන රජය අපනයනය සදහා තින්දු තීරණ ගන්නේ නැතිව ආනයනය සදහා තින්දු තිරණ ගැනීම කණගාටුවට කරුණක්.

රටේ බිත්තර , කුකුල් මස් මිල වැඩිවීමට හේතුව සත්ත්ව ආහාර පිළිබඳව තිබෙන ගැටලුව. අපේ රටේ නිෂ්පාදය මදි නිසා රටට අවශ්‍ය වෙලාවට බඩ ඉරිගු ආනයනය කරන්න ඕන. නමුත් අමාත්‍යංශය සිදුකරන්නේ සත්ත්ව ආහාර නිෂ්පාදකයන්න අවසර දෙන්නේ නැතිව පංචිකාවත්තේ වාහාන අමතරකොටස් ගේන මුදලාලිලාට අවසර දෙනවා බඩ ඉරිගු ගේන්න.  ඒ හරහා නියමිත වෙලාට බඩ ඉරිගු ලැබෙන එක ප්‍රමාද වෙලා සත්ත්ව ආහාර නැතිවෙලා යනවා. ඒ අනුව බිත්තර කුකුල්මස් මිල ඉහළ යනවා. ඊට පස්සේ සිදුකරන්නේ ආහාර රටින් ආනයනය කරන එක. මේ සම්බන්ධයෙන් වෙළඳ ඇමැතිවරයාට කිසිදු වැඩපිළිවෙලක්  නෑ.

රජය එකවරම ණය ගෙවීම පැහැර හැරීමෙන් රටට විශාල හානියක් සිදුවෙනවා. එකවරම ණය පැහැර හරින්නේ නැතිව ක්‍රමවත් වැඩපිළිවෙලකට යා යුතු බව විපක්ෂය රජයට දැනුම් දුන්නා. ණය පැහැර හැරපු රටවල් ලෝකයේ තිබෙනවා. ඒ රටවල් නැවත නගා සිටුවන්න අවුරුදු 2 ක් වත් ගතවෙලා තිබෙනවා. ණය ගෙවීමට නොහැකි බව කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම්වත් කරලා තිබුණ රටවල් මාස 8 කින් නැවත නැගිටලා තිබෙනවා.  අපි කියපු වෙලාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා නම්  2021 වනවිට රට යථා තත්ත්වයට පත්වෙලා තිබෙන්න තිබුණා.  අවුරුද්දක් දෙකක් ගිහින් තවම රටට නැගිටින්න බැරි වෙලා තිබෙනවා.  ඒ නිසා තමයි ජනාධිපතිවරයා කියන්නේ 2048 රට යථා තත්ත්වයට පත්වෙනවා කියලා.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්න තීන්දුව වැරදියි ඔහුගේ පාලන කාලය තුළ නෙවෙයි රට බංකොලොත් වුණේ ඊටත් කලින් කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියනවා.

2015 2019 යහපාලන ආණ්ඩුව කාලයේ ආර්ථික අර්බුදය නිර්මාණය වුණා කියලා රටට කියන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උත්සහ කරනවා. 2010 පසුව රටේ තිබුණේ කෘතිම ආර්ථික වර්ධන වේගයක්.  එය නිෂ්පාදනය පදනම්  ආර්ථික වර්ධන වේගයක් නෙවෙයි. ඒ ආර්ථික වර්ධන වේගය සිදුවී තිබෙන්නේ ඉදිකිරීම් මත පදනම්ව පමණයි. රටේ දළ දේශීය නිෂ්පාදනය පුම්බලා පෙන්නුවා. රටට අවශ්‍ය නැති ඩොලර් උපයන්නේ නැති අධිවේගි මාර්ග , ක්‍රිකට් ක්‍රිඩාංගන , සම්මන්ත්‍රණ ශාලා , කුළුණු හදලා චීනයෙන් ණය අරගෙන හැදුවා.

රාජපක්ෂලා යුද්දෙන් පස්සේ ගත්ත ණය ප්‍රමාණය වර්ධනය වෙලා අයි එස් බී ණය ප්‍රමාණය ගෙවන්න සිදුවන්නේ 2016 , 2017 , 2018 , 2019 කාලයේ.  ඒ වෙලාවේ ණය ගෙවන්න රාජ්‍ය ආදායම මදියි. ඒකට හේතුව තමයි රාජපක්ෂ ආණ්ඩුව රටේ අපනයනයට ආයෝජනය කරලා තිබුණේ නෑ.  ඒ නිසා යහපාලන ආණ්ඩුවට සිදුවුණා ණය අරගෙන රාජපක්ෂලා ගත්ත ණය ගෙවන්න.  2015 සිට 2019 දක්වා ගත්ත ණය ප්‍රමාණයෙන් සියයට 80 ක් ගිහින් තියෙන්නේ රාජපක්ෂලාගේ ණය පොලිය ගෙවන්න.  2019 දි රාජපක්ෂලාගේ ණය වෙනුවෙන් ඩොලර් බිලියන 5 ක් ගෙවලා තිබෙනවා.

රටේ තිබෙන අසීරු ආර්ථික තත්ත්වයට වගකිව යුත්තේ පොදුජන පෙරමුණ ඇතුළු සමාජවාදී කණ්ඩායම්. ඔවුන් අධිකරණ තීන්දුවටවත් හිස නමන්නේ නෑ.  රටේ ජනතාව හිඟමනයට ඇදලා දාපු පිරිස රටේ ජනතාවගෙන් සමාව ඉල්ලන්නේ නැතිව පක්ෂ සම්මේලනය පවත්වනවා.   සමගි ජනබලවේගය පොරොන්දු වුණා රට බංකොලොත් කරපු පිරිස නිතිය ඉදිරියට ගේනවා කියලා. අපි ඒ පොරොන්දුව ඉටු කළා. ඉදිරියටත් ජනතාව වෙනුවෙන් සමගි ජනබලවේගය පෙනී සිටිනවා. සමගි ජනබලවේගය පක්ෂයක් ලෙස ජනතාව සමඟ සම්බන්ධ වෙලා ආර්ථික ඝාතකයන්ගේ වැරදි තින්දු තීරණ නිසා අසරණ  වුණ පුද්ගලයන්ට පුලුවන් නීතිපතිවරයා හරහා නඩු පවරන්න පුලුවන්. ඒ සඳහා නායකත්වය සමගි ජනබලවේගය ලබා දෙනවා.‘‘