පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ බංකොලොත්භාවය යන ව්‍යසන 03කට මුහුණ දුන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ දේපල, ව්‍යාපාර සහ සම්පත් අධිකරණයේ මැදිහත් වීමකින් තොරව පරාටේ නීතිය හරහා ක්ෂණික වෙන්දේසියකට ලක්ව ඇති බවත් මේ නිසා කර්මාන්තකරුවන් පීඩනයකට, අසරණභාවයකට පත්ව ඇති බවත්  විපක්ෂ නායකවරයා පැවසීය.

මැතකදී ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ මේ පරාටේ නීතියේ පරාසය 3 වැනි පරාසයක් දක්වා පුළුල් වී ඇති බවත් මේ තත්ත්වය තුල අන්ත අසරණ භාවයට ආර්ථික සමාජීය පරිහානියකට කර්මාන්ත ක්ෂේත්‍රය පත්ව ඇති බවත් ඒ නිසා දේපල වෙන්දේසිය ඉහළ ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (20) පරාටේ නීතියෙන් අගතියට පත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එබැවින් රජය මේ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බවත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දළ දේශීය නිෂ්පාදිතයට සියයට 50කට වැඩි දායකත්වයක් ලබා දෙන බවත් මේ කර්මාන්ත කඩා වැටුණහොත් ආර්ථිකය වර්ධනය වෙනවා නොව සංකෝචනයක් සිදු වන බවත් ඒ නිසා උද්ධමනය ඉහළ යාම, විරැකියාව ඉහළ යාම, බුද්ධි ගලනය ඉහළ යාම මෙන්ම රජයේ බදු ආදායම ඉහළ යාමක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය මැදිහත් වී බැංකු පද්ධතියේ ස්ථායිකරණයට සෘණාත්මක බලපෑමක් සිදු නොවන ආකාරයට මේ ගැන මැදිහත් වී බැංකු ස්ථායිකරණයට වෙනමම අරමුදලක් ඇති කිරීම සහ පරාටේ නිතිය තාවකාලිකව ක්‍රියාත්මක වීම අත්හිටුවීමට මැදිහත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. එසේ ම මෙවැනි අරමුදලක් ස්ථාපිත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහයෝගය ලබා ගත යුතු බවත් එම ආයතනවලට මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද රජයට හිතවත් ගජමිතුරු ව්‍යාපාරිකයන් රාජ්‍ය බැංකුවලින් කෝටි ප්‍රකෝටි ගණනින් ණය ගෙන පසුව එම ණය පැහැර හැරීමත් සමඟ එම ණය ගිවිසුම් ඔවුන්ට වාසිදායක ලෙස සංශෝධනය කර ඇති බවත් එවන් ණය ගත් පුද්ගලයන්ට එක සැලකිල්ලකුත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වෙනමම සැලකිල්ලකුත් දැක්වීම ගැන කණගාටුවට පත්වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.