ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාව පත්ව ඇති තත්වය පිළිබඳව ඉතාමත්ම හරවත් දීර්ඝ පිටු 94ක වාර්තාවක් එළි දක්වා ඇති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ආණ්ඩුව අදාළ වාර්තාවට ප්‍රතිඋත්තර තනි කොළයකින් යවා ඇතැයි පැවසීය.

රට ගොඩනැගීම සහ ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ තියෙන දැනුම බුද්ධියේ තරම එයින් හොඳ හැටි ඔප්පු වන බව පැවසූ විපක්ෂ නායකතුමා රාජතාන්ත්‍රික ගනුදෙනු සම්බන්ධව ආණ්ඩුව ඇත්තේ අවාසනාවන්ත තත්ත්වයක බව ද පැවසීය.

ගොවිතැනේ දී වුව මිත්‍යාවට වඩා විද්‍යාවට මුල්තැන දීම වැදගත් බව පැවසූ විපක්ෂ නායකතුමා, වි පර්යේෂණ ආයතනය මගින් වසර 11ක් තිස්සේ කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලය වන්නේ කාබනික පොහොර පමණක් භාවිතා කිරීමෙන් අස්වැන්න බරපතළ ලෙස අඩු විය හැකි බව යැයිද පැවැසීය.

සූරියවැව ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක සුභක ප්‍රදීප් මහතා සංවිධානය කරන ලද සූරියවැව ව්‍යාපාරික හමුවට අද (27) එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව කීය.

ශ්‍රේණිගත කිරීම් තුළින් ශ්‍රී ලංකාවක් පහලට දැමීමේ ප්‍රතිඵලය වන්නේ ජාත්‍යන්තරය හඳ හා හඳ හා ණය මුදලක් පවා ලබා ගැනීමේ හැකියාව අහිමි වී යාම බව පැවසූ විපක්ෂ නායකතුමා අද ශ්‍රී ලංකාවට අත්විඳින්නට සිදුව ඇත්තේ එකී ඉරණම යැයිද පැවසීය.

ශ්‍රී ලංකාව ණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් විශ්වාසනීයත්වයක් ගොඩනඟා ගැනීමට අපොහොසත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා,අද වන විට ආණ්ඩුව කරන්නේ රට වෙන්දේසි කරන ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම බවද පැවසීය.

ලංකාවට ඩොලර් ලබාදෙන සියලු අංශ අර මං ඒ තත්ත්වයට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ නිසා ලංකාව බරපතළ ඩොලර් අර්බුදයක ගිලී සිටින බවද පැවසීය.