තමන් අන්තවාදීන්ට, ජාතිවාදීන්ට හා ආගම්වාදීන්ට බය නැති බවත් මේ රටෙන් ජාතිභේදය, වර්ගවාදය,අන්තවාදය සහමුලින්ම අතුගා දැමිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කම්කරු ජාතික සංගමයේ නායක පලනි දිගම්බරම් මහතා විසින් නුවරඑළිය සිනෙසිටා ක්‍රීඩාංගනයේ සංවිධානය කරනු ලැබූ තෛපොංගල් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(16) සහභාගි විය.

balavegaya 1642332286005

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ. මෙරට පලවෙනි වතාවට වතු කම්කරු ප්‍රජාවට පුරවැසිභාවය ලබා දෙමින් පුරවැසිකමේ සිහිනය දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සැබෑකර දිනා දුන් බව පැවසූ විපක්ෂ නායකතුමා, තේ වතුවල කම්කරුවන් සේ දුක් විඳින ජනතාවගේ ජනජීවිත නංවා ඔවුන් ශක්ති සම්පන්න පිරිසක් බවට පත් කිරීමේ වගකීම තමන් භාර ගන්නා බව ද පැවැසීය.

මන්දිරවල ගෑස් පුපුරන්නේ නැති බවත්, ඔවුන්ට කිරිපිටි වල ප්‍රශ්නයක් නැති බවත්,ඔවුන්ට බන්දේසියක තබා සියල්ල ලැබෙන බවත් පැවසූ විපක්ෂ නායකතුමා අද පොහොර පෝලිමේ සිටින්නේත්,ගෑස් ටැංකි පිපිරීමෙන් පීඩාවට පත් වන්නේත්,අන්ධකාරයේ සිටින්නේත් මේ රටේ අහිංසක ජනතාව යැයි ද ඒ මහතා පැවැසීය.

වතු කම්කරු ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම වෙනුවෙන් අනාගත රජයක් යටතේ සිදු කරනු ලබන මෙහෙවර ඇතුළත් කොට වතු කම්කරු ප්‍රඥප්තියක් සමගි ජන බලවේගය මේ දිනවල නිර්මාණය කරමින් සිටින බව විපක්ෂ නායකතුමා පැවසීය.

balavegaya 1642332298084

අනාගත සමගි ජන බලවේග රජයක් තුළ මේ රටේ වතු කම්කරු සංවර්ධනය වෙනුවෙන් විශේෂිත වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරන්නට කටයුතු කරන බවත් පැවසූ විපක්ෂ නායකතුමා තමන් මේ පිළිබඳව පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණ සමයේදී කරුණු ඉදිරිපත් කරන විට ජාතිවාදය ආගම්වාදය පදනම් කරගනිමින් ප්‍රහාර එල්ල කළ බව බවද පැවසීය.