දරාගත නොහැකි පීඩනයෙන් අද රටේ සමස්ත ජනතාව වේදනාවෙන් කඳුළු සලද්දී මේ රට විනාශය කරා රැගෙන ගිය පොහොට්ටු මැති ඇමතිවරු ජයපැන් බොමින් සිටිනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රාජ්‍ය ඇමතිවරු තිස්හතක් පත් කරමින් මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් ඔවුන් නඩත්තු කිරීම සඳහා යොදවමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, රාජපක්ෂලා සුරක්ෂිත කිරීම වෙනුවෙන් වර්තමාන ජනාධිපති වරයාද මේ රටේ ජනතාව මර්දනය කරමින් සිටින බව පැවසීය.

මේ දුර්දාන්ත මර්දනයට එරෙහිව සමස්ත ජනතාව සමග සමගි ජන බලවේගය සමඟ සමඟි ජන සන්ධානය එකට එක්වන බවද විපක්ෂ නායකතුමා පැවසීය.

රාජ්‍ය මිලේච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය තුලින් මේ රටේ කලාකරුවන් මේ රටේ සිසුන්, මේ රටේ තරුණ පරම්පරාව මර්දනය කිරීමේ බියගුළු උත්සාහයක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනවා යැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.

ත්‍රස්ත පනත භාවිතා කිරීම ඇතුළු වත්මන් ආණ්ඩුව විසින් ගෙන යනු ලබන ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී වැඩ පිළිවෙළට එරෙහිව “නිදහස වෙනුවෙන් නගමු හඬ” මැයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ඒකාබද්ධ ප්‍රකාශය එළිදැක්වීම අද (09) සිදුවිය. ඒ පුස්තකාල මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ය.

මේ රටේ ජනතාව නැගී සිටියේ තමන් අත්විඳි පීඩනයට එරෙහිව බවත්,ඔවුන් ප්‍රාර්ථනා කළේ සාධාරණ රටක් බවත් පැවසූ විපක්ෂ නායකතුමා, අද රාජපක්ෂ පරපුර ආරක්ෂා කිරීම වෙනුවෙන් ආණ්ඩුව ඇප කැපවී සිටින බව ද පැවසීය.