තනතුරු ලබා ගැනීමට එදා සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් ගනු ලැබූ තීන්දුව සියයට සියයක්ම නිවැරදි බව අද මොහොතින් මොහොත ඔප්පු වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රට බංකොලොත් වී ඇති මොහොතක, ඒ පිළිඹදව කිසිදු හැඟීමක් නැතිව ආණ්ඩුව විසින් නියෝජ්‍ය ඇමතිවරු තිස් හත් දෙනෙක් පත් කරමින් ජනතාව මත තවදුරටත් බරක් පටවා ඇතැයි ද ඒ මහතා පැවසීය. මෙවැනි කඩා වැටීමකට ලක් වූ කිසිම රටක් නොකරන අන්දමින් උන්මත්තක ලෙස මෙම කටයුත්ත සිදු කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ හරහා ජනතාව තවදුරටත් ප්‍රපාතයට ඇද දමා ඇතැයි ද පැවැසීය.

රටේ ජනතාව මේ තරම් බරපතළ පීඩනයක සිටියදී මැති ඇමතිවරු තමන්ට රුචි අරුචි ඇමතිකම් සොයමින් තනතුරු වෙන්දේසියේ යමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, එය ඇමැති කටු සූදුවක් යැයිද පැවසීය.

සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සහ රියදුරන්ගේ සංගම්වල නියෝජිතයින් පිරිසක් අද (09) නැවත විපක්ෂ නායක කාර්යාලයේ දී හමුවූ අතර ඔවුන් මුහුණ දෙන ගැටලු පිලිබදව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

අදාල ගැටලු පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කිරීම සම්බන්ධව ඔවුන් සිය ප්‍රසාදය පළ කළ අතර ඒ පිළිබඳව කෘතවේදීත්වය ද පළ කර සිටියේය.විපක්ෂ නායකතුමා ඉහත අදහස් දක්වා සිටියේ එම හමුවේදීය.