ඊයේ (08) දිවුරුම් දුන්න නියෝජ්‍ය ඇමතිවරු පත් කිරිමේ දී පොහොට්ටුවේ රාජ්‍ය ඇමති ධූර ලබා දී ඇත්තේ නාමල් රාජපක්ෂ විසින් සකස් කරන ලද ලයිස්තුවකට බවත් ඊට මහින්ද රාජපක්ෂ විසින් මාර්ගෝපදේශ සපයා ඇති බවත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

අවසන් මොහොතේදීත් එම ලයිස්තුවේ සංශෝධන සිදුවී ඇත්තේ ඔවුන්ගේ අභිමතය මත බව ද එම ආරංචි මාර්ග කියයි.

එසේ සකසන ලද ලැයිස්තුවට ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අදාළ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම සිදුකර තිබෙනවා.

ජගත් පුෂ්පකුමාර සහ ලොහාන් රත්වත්ත අතර ඇතිවූ ඇමති ධූර ගැටලුව එවැන්නක් බව වාර්තා වේ. ජගත් පුෂ්පකුමාරට ලබා දී තිබූ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරය අවසාන මොහොතේ දී වෙනස් කර එය ලොහාන් රත්වත්තට ලබා දී ලොහාන් රත්වත්ත වෙත ලබා දීමට සූදානම්ව සිටි විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය ජගත් පුෂ්ප කුමාරට ලබා දෙන්නේ මහින්ද රාජපක්ෂගේ මැදිහත් වීමෙන් බව එම ආරංචි මාර්ග කියයි.

ඩී.වී චානකට දුන් නියෝජ්‍ය කෘෂිකර්ම ඇමති ධුරය වෙනස් කෙරෙන්නේ ද එවැනි පසුබිමක් මතය. ජනාධිපතිවරයා මැදිහත් වී එය වෙනස් එම රාජ්‍ය අමාත්‍ය ධූරය වෙනස් කරන්නට ඉල්ලන්නේ කුමක් නිසාදැයි විමසූ විට ඩි.වී.චානක පවසා ඇත්තේ තමන්ගේ මුහුණවත් නොබලා කතා කරන මහින්ද අමරවීර යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර දැරිය නොහැකි බවය.

ඊයේ රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙක් දිවුරුම් දුන්නේය.