මුලතිව් මහේස්ත්‍රාත් ටි.සරවණරාජා මහතාගේ ඉල්ලා අස්වීම තුලින් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ප්‍රශ්නයක් මතුව ඇති බවත් මහේස්ත්‍රාත් වරයාට බලපෑම් කල පුස්ගලයින් පිලිබදව සෙවීම රජයේ වගකීමක් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මුලතිව් විනිසුරුතුමාගේ ඉල්ලා අස්වීම බොහොම බරපතල කරුණක් බවත් එය අධිකරණයේ ස්වාධිනත්වය පිළිබඳ ගැටලුවක් බවත් ඔහුට මරණ තර්ජන හා බලපෑම් සිදුව ඇති බව පවසා ඇති බවත් මෙය බරපතල ප්‍රකාශයක් බැවින් ඒ සම්බන්ධයෙන් ස්වාධින පරීක්ෂණයක් සිදු කර ඒ සම්බන්ධ සත්‍ය හෙළිදරව් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ටි.සරවණරාජා මහේස්ත්‍රාත්වයාට තර්ජනය කිරීම සහ එම හේතුව මත මහේස්ත්‍රාත්වයා ඉල්ලා අස්වීම හේතුකොට ගනිමින් යාපනය දිස්ත්‍රික්කයේ නිතීඥවරුන්ද අද (03) සහ හෙට (04) සිය සේවා කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (02) මුලතිව්හී නීතිඥවරුන්ද සේවා කටයුතු වලින් ඉවත් වීමට කටයුතු කර තිබු බවට වාර්තා වනවා.

එසේම මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා මහතා විදෙස් ගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දෙකක් පත් කර තිබෙනවා.