රනිල් වික්‍රමසිංහ 2019 වසරේ අගමැතිවරයාව සිටින සමයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය සම්බන්ධ කරගනිමින් පරීක්ෂණ පවත්වන බවට පැවසූ නමුත් ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වීමෙන් පසු එම අදහස වෙනස් වී තිබෙන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු ඇඟ බේරාගන්නා න්‍යායක් අනුගමනය කරන බවත් මුජිබර් රහ්මන් මහතා පැවසීය.

පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහබාගී වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් මහතා මෙම අදහස් පැවසීය.

එතුමා වැඩිදුරටත් පැවසූ අදහස්,

“පාස්කු ප්‍රහාරය සිදුවෙලා වසර 5 ක් වෙන්නත් යනවා. නමුත් තවම පාස්කු ප්‍රහාරය ක්‍රමන කණ්ඩායමක් සිදුකළාද යන්න සම්බන්ධයෙන් නිසි තොරතුරුක් සොයාගන්න නොහැකි වෙලා තිබෙනවා. තවම යම් යම් තැන්වලින් මේ පිළිබඳ තොරතුරු වසන් කරගෙන යනවා. පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සිටින කාලයේ කිව්වා ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය ගෙනල්ලා පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරුතරු සොයාගෙන මහ මොළකරු අල්ලනවා කියලා. නමුත් ඔහු ජනාධිපති වුණාට පස්සේ ඔහුගේ ඒ අදහස වෙනස් වෙලා තිබෙනවා.

පිල්ලෙයාන් පෞද්ගලික ලේකම් අසාද් මවුලානා කියන පුද්ගලයා චැනල් 4 නාලිකාව හරහා පාස්කු ප්‍රහාරය පිළිබඳව යම් යම් කරුණු කාරණා හෙළි කළා. ජානාධිපති රනිල් වික්‍රසිංහ කිව්වා මේ ගැන හොයන්න කමිටුවක් පත් කරනවා කියලා. නමුත් අද වනතුරුත් ඒ කමිටුවෙන් කිසිදු තොරතුර ක් හෙළි දරව් වෙලා නෑ. අසාද් මවුලානා කියන පුද්ගලයා හෙළි කරපු කරුණු සත්‍ය ද අසත්‍ය ද කියලා අපි දන්නේ නෑ. ඒවත් යටපත් වෙලා තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ තමයි හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෙක් පිළිබඳ තොරතුරු දන්නා බව කියන්නේ. මේ පිළිබඳව ආණ්ඩුව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෙක් පිළිබඳ තොරතුරු දන්නා බව කීම හරහා පාස්කු ප්‍රහාරය පිළිබඳ සිද්ධිය අද අලුත් තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. පාස්කු ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයා සොයාගැනීමට රජයට විශාල වගකීමක් තිබෙනවා.

වගකීම් පැහැර හැරි පුද්ගලයෙක් ලෙස ශේෂ්ඨාධිකරණය ඉදිරියේදී මෛත්‍රීපාල සිරිසේනට දඩුවම් පවා ලබාදිලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේදීවත් ඔහු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෙක් පිළිබඳ සඳහන් කරලා නෑ. ජනාධිපති කොමිසමට කියලත් නෑ. ඔහු සඟවාගෙන සිටි කරුණු දැන් එළියට දාන්න ලැස්තියි කියලා කියනවා. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් තිබෙන ගැටලු ගැන විපක්ෂය දිගින් දිගටම ප්‍රශ්න කළා. පාර්ලිමේන්තුවේදී හිටපු ආරක්ෂක ඇමැති වර්තමාන ආරක්ෂක ඇමැති සිදුකළ ප්‍රකාශ පරස්පර විරෝධි බව අපි පෙන්වලා දුන්නා. සාරා පිළිබඳව සහරාන්ගේ බිරිද කියන ප්‍රකාශ සහ ආරක්ෂක ඇමැතිවරු කියන ප්‍රකාශ අතර විශාල පරස්පරතාවයක් තිබෙනවා.

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින සියලු දෙනාටම නීතිය ඉදිරියට ගේන්න ඕන. ඒ වගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශයෙන් පාස්කු ප්‍රහාර පිළිබඳ අලුත් තොරුතරු රැසක් හෙළි දරව් කර ගන්න පුළුවන්. ඔහුගේ ඒ ප්‍රකාශය පිළිබඳ විමර්ශනය කිරිමේ වගකීම තිබෙන්නේ වර්තමාන අණ්ඩුවට. ඒ වගේම එම ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කර නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීමට පැහැරෙන්නේ වර්තමාන අණ්ඩුවට.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කණ්ඩායම්වලට බලපෑමක් නොකළානම් මේ ගැන තොරුතුරු අනාවරණය කර ගන්න තිබුණා. නමුත් ඒ පරීක්ෂණ කණ්ඩායම් වලට ඒවා කරගෙන යා හැකි ආකාරයට පරිසරය හදලා දුන්නේ නෑ. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා යහපාල ආණ්ඩුවේ කණ්ඩායමක් සමග යම් මත ගැටුමක සිටියා. පසුව ඔහුගේ දේශපාලන ගමන් මත තිබුණේ රාජපක්ෂවරු සමඟ. ගෝඨාභය රාජපක්ෂ දිනවන්න ඔහු විශාල වැඩ කොටසක් සිදුකළා. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්ද කියන දේ ඔහු වසන් කරගනෙ සිටිම මේ වනවිට නීතිය ඉදිරියේ විශාල ගැටලුවක් වෙලා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සමඟ පාස්කු බෝම්බ ප්‍රහාරයේ අලුත් තත්ත්වයක් ඉදිරියේදී ඇතිවෙන්න පුලුවන්.

ඒ වගේම ජනාධිපතිවරයා පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයන්න තිබෙන උනන්දුව පිළිබඳව ද ගැටලුවක් මතුවෙනවා.
පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව තොරතුරු වසන් කරන්න උත්සහ කරන බවක් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දෙස බැලුවාම පෙනෙන්න තිබෙනවා.‘‘