ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් මැතිවරණ සඳහා වාසි ලබාගැනීමට අවශ්‍ය වන ආකාරයට 2024 අයවැය ඉදිරිපත් කර තිබෙන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසයි.

අස්වැසුම, උඩරට ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් ගැටලුව, උතුරේ ජල ප්‍රශ්නය වැනි වැඩසටහන් දේශපාලන වැඩසටහන් බවට පත් කරලා තිබෙන බවත් ජනතාවට ආර්ථික වශයෙන් සහන ලබාදීමේ වැඩසටහනක් අයවැයෙන් ක්‍රියාත්මක කරලා නැති බවත් ආර්ථික වශයෙන් කඩා වැටුණු පුද්ගලයින්ට අස්වැසුම කියන පගාව ලබාදීමෙන් ඔවුන්ට ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය වෙන්නේ නැති බවත් හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කළේය.

ගුවන් තොටුපලවල් නිර්මාණය කරන්න පෙර ආර්ථික වශයෙන් රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ශක්තිමත් කරන වැඩසටහනක් , කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමේ වැඩසටහනක් ,අපනයනට වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් අයවැයෙන් නිර්මාණය කරන්න තිබුණ බව ද ඒ මහතා වැඩිදුරටත් කීය.

හෙක්ටර් අප්පුහාමි මහතා මේ බව සඳහන් කළේ අද (17) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම මාධ්‍ය හමුවට සමගි ජනබලවේගයේ වත්තල ආසනයේ ප්‍රධාන සංවිධායක නියෝමාල් පෙරේරා මහතාද සහභාගි විය.

මාධ්‍ය හමුවට එක්වූ හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේ පැවැසීය.

‘‘වර්තමාන ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයක් ඉලක්ක කරගෙන මැතිවරණයට වාසි ලබාගැනීමට අවශ්‍ය වන විදිහට බදු ගෙවන්නන්ගේ මුදල් භාවිතා කරලා තමයි 2024 අයවැය ඉදිරිපත් කරලා තිබෙන්නේ. ලංකාවට සේවා සපයන්නන් සහ ජාත්‍යන්තරයත් සමඟ සම්බන්ධීකරණය කර සිදුකරන්න තිබුණ ව්‍යාපෘති අමතක කරලා අස්වැසුම දේශපාලන ව්‍යාපෘතියක් විදිහට ගෙනල්ලා , උඩරට ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් ගැටලුවට වෙනම වැඩසටහනක් හදලා , උතුරේ ජල ප්‍රශ්නය විසඳන්න වෙනම වැඩසටහනක් හදලා මේ වැඩසටහන් දේශපාලන වැඩසටහන් බවට පත් කරලා තිබෙනවා. නමත් ජනතාවට ආර්ථික වශයෙන් සහන ලබාදීමේ වැඩසටහනක් අයවැයෙන් ක්‍රියාත්මක කරලා නෑ. ආර්ථික වශයෙන් කඩා වැටුණු පුද්ගලයින්ට අස්වැසුම කියන පගාව දුන්නා කියලා ඔවුන්ට ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය වෙන්නේ නෑ.

ආර්ථික වශයෙන් රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ශක්තිමත් කරන වැඩසටහනක් , කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමේ වැඩසටහනක් ,අපනයනට වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් අයවැයෙන් නිර්මාණය කරන්න තිබුණා. මෙවැනි කිසිම දෙයක් 2024 අයවැය යෝජනාවල නෑ.

ආර්ථික වශයෙන් රට කඩන් වැටෙනකොට අහිංසක මිනිසුන්ට අධික බදු පටවලා ජනප්‍රිය දේවල් ලබාදීලා ජනතාව සනසලා ඡන්ද ටික උදුරාගැනීමේ වැඩසටහනක් තමයි ජනාධිපතිවරයා අයවැය හරහා ක්‍රියාත්මක කරලා තිබෙන්නේ.

රාජපක්ෂ පවුලත් සහ මහබැංකු අධිපතිවරයා ඇතුළු පිරිස ආර්ථික වශයෙන් රට අපායක් බවට පත්කළා. රාජපක්ෂ පවුල රටේ තිබෙන ආපාය නිර්මාණය කළ බව ශ්‍රේෂ්ඨාධිකරණයත් දැන් තීන්දු කරලා තිබෙනවා. ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවේදී කියනවා ඔහුට ලැබුණේ අපායක් කියලා. අපායේ දෙවිවරු විදිහට කාටවත් රඟපාන්න බෑ. එහෙනම් ජනාධිපතිවරයා කළ යුත්තේ අපායේ ඉන්න යක්කු ටික ඉවත් කරන්න වැඩපිළිවෙලක් සකස් කරන එක. ඒක ජනාධිපතිවරයාගේ වගකීම.

බිලියන 600 කට වැඩි ප්‍රමාණයක් බදු කපා හැරලා තමන්ගේ ගජමිතුරන්ගෙන් බදු ගන්නේ නැතිව ඔවුන් පෝසත් කරන්න වැඩපිළිවෙලක් නිර්මාණය කරපු නිසා ආර්ථිකය කඩන් වැටිලා රටට මේ තත්ත්වය ඇති වුණේ. 2024 වර්ශයෙත් රට කඩන් වැටෙන තත්ත්වයක් තමයි අයවැයෙන් ඉදිරිපත් කරලා තිබෙන්නේ.

ජනාධිපතිවරයා අයවැය කතාවේදී කියනවා හිගුරක්ගොඩ ගුවන් තොටුපලක් හදනවා කියලා. මේ අවස්ථාවේ ගුවන් තොටුපලන් හදන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බෑ. රට ආර්ථික වශයෙන් කඩන් වැටිලා , ආයෝජකයෝ ලංකාවට එන්නේ නෑ, සංචාරයන් ගේන්න වැඩපිළිවලක් නෑ. ජනාධිපතිවරයා හිගුරක්ගොඩ හදන්න යන ගුවන් තොටුපල තවත් සුදු අලියෙක් බවට පත්වෙයි.

විදේශ වෙළඳපොල ගැන සමීක්ෂණයක් සිදුකරලා ඒ හරහා විදේශීය වෙළඳපොලට අවශ්‍ය කරන නිෂ්පාදන ක්‍රියාවලියක් ඇතිකරලා අපනයන වැඩසටහන් ක්‍රියාත්මක කරලා අයෝජකයෝ දිරි ගන්වන වැඩසටහන් අයවැය තුළින් හදනවා වෙනුවට සිදුකරලා තිබෙන්නේ ජනතාව මුලා කිරීමක් පමණයි.


ප්‍රශ්නය – ඔබ කියන විදිහට අයවැයේ ලබාදීලා තිබෙන පොරොන්දු මොනාද ?

පිළිතුර – කොළඹ ජනතාවට නිවාස දෙන එක පොරොන්දුවක්. ඒ පොරොන්දුවට සල්ලි අවශ්‍ය වෙන්නේ නෑ. ඒක මැතිවරණ වැඩපිළිවෙලක්. උඩරට ජනතාවට තමන්ගේ ඉඩම් වල අයිතිය ලබාදෙන වැඩසටහන තුළ ඉන්න පුලුවන් ජාවාරම් කණ්ඩායම් ඔවුන්ට මෙම ඉඩම් අඩු මුදලට සල්ලි දීලා අරගන්න පුලුවන් නිසා ජනතාවක් රටට්ටලා ඒකට අවශ්‍ය වන ගුන්ඩුවක් ලෙස ඔප්පු සකස් කරලා ඒ ඔප්පු ජාවාරම්කාරයින් අතට යන වැඩපිළිවෙලක් සකස් කරන්න පුලුවන්. ඉඩම් දෙනවා කියලා අවසානයේ ඉන්න තැනත් නැතිවෙන් වැඩක් තමයි මෙයින් වෙන්නේ. අස්වැසුම සඳහා ජනතාව තෝරාගන්න රජයට ක්‍රමවේදයක් නෑ. අස්වැසුම තෑග්ගක් විදිහට ජනතාවට ලබාදීලා ආර්ථකයට අවශ්‍ය ශක්තිය ජනතාවගෙන් උදුරා ගන්නවානම් ඒ වැඩපිළිවෙල පිටුපස තිබෙන්නේ වෙනත් වැඩපිළිවෙලක්. ගුවන් තොටුපළවල් හදන මුදල් වලින් කුඩා ව්‍යාපාරකියන්ගේ ව්‍යාපාර ශක්තිමත් කරන්න දීමනාවක් ලබාදීමේ වැඩසටහනක් හදන්න පුලුවන්. අපි සූදානම් ඒ වැඩපිළිවෙල හදන්න.

ප්‍රශ්නය – කෝප් කමිටුවට සහ පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් , ක්‍රිකට් පාලක මණ්ඩලය පාලනය කරන්න පුලුවන් වෙයිද ?

පිළිතුරු – කෝප් කමිටුවේ සභාපති හස්ත සංඥාවලින් නිශ්ශබ්ද වෙන්න කියලා කියන්නේ ඔහුගේ සහෝදර ක්‍රිකට් පාලක මණ්ඩලයට. හොරුත් එක්ක නිදියගන්න සංකල්පයක් කෝප් කමිටුවේ අද ක්‍රියාත්මක වෙන්නේ. මේවැනි ක්‍රියා සිදුවෙන්න ඉඩ දෙන්න බෑ. ක්‍රිකට් පරිපාලන මණ්ඩලය ගැන තිබෙන චෝදනා පරීක්ෂණ කරනවා වෙනුවට අද සිදුවෙන්නේ වෙනම දෙයක්. ක්‍රිකට් පරිපාලන මණ්ඩලය තුළ සිදුවන හොරකම් දූෂණ පිටුපස ආණ්ඩුවේ පිරිසකුත් ඉන්නවා.