රාජපක්ෂලා රටේ ආර්ථිකය කඩා වැට්ටුව බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඓතිහාසික තීන්දුවක් බවත් සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ , මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ , අජිත් නිවාඩ් කබ්රාල් , පී.බී ජයසුන්දර ඇතුළු මහබැංකුවේ මුදල් මණ්ඩලය රටේ සිටින සියලුම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙන බවත් රහුමාන් මහතා සඳහන් කළේය.

මෙම නඩු තීන්දුව හරහා රටට යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සහ පාලකයන් ජනතාවට වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රකාශයට පත් කර තිබෙන බවත් පාලකයන්ට හිතුමතේට උද්දච්චලෙස තමන්ගේ තීන්දු හරහා වැඩ කිරීම වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණ මෙම නඩු තීන්දුවෙන් තීන්දු කරලා තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

රාජපක්ෂලාට උපදෙස් දුන්න සියලු දෙනා සහ වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ සිටින පිරිසද ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ කොටස්කරුවන් බව ඒ මහතා හෙතෙම කීය.

මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේ අද (15) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා මෙසේ පැවැසීය.

‘‘2024 වෙනුවෙන් රාජපක්ෂ වික්‍රසිංහ ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය ජනාධිපතිවරයාගේ ලෝකයේ ඉදලා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. 2023 අයවැය සහ 2024 අයවැය සංසන්දනය කරලා බලනකොට 2023 අයවැය යෝජනා බොහෝමයක් 2024 අයවැයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. රටේ ජනතාව ඉතා අසීරුවෙන් ජීවත්වන අවස්ථාවක කිසිදු ආකාරයෙන් සැනසීමක් ජනතාවට මෙවර අයවැයෙන් ලබාගැනීමට නොහැකි වී තිබෙනවා.

ඊයේ දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිනිශ්චයකාරවරයා ප්‍රමුණ විනිසුරුවරුන් 5 දෙනෙකුගෙන් යුතු මණ්ඩලය ඓතිහාසික තීන්දුවක ලබා දුන්නා. 2019 සිට 2022 දක්වා කාලය තුළ ගෝඨාභය ජනාධිපතිවරයා ඇතුළු
ආණ්ඩුව ඇතිකරපු ආර්ථික විනාශය හරහා රට බංකොලොත් කිරීමට එරෙහිව සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන මහාචාර්ය මහින් මෙන්ඩිස් , මහාචාර්ය අතුල ශ්‍රී සමරකොන් , ආචාර්ය මොරායස් ඇතුළුව සිවිල් ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිවාසිකම පෙත්මක ගොනු කරලා තිබුණා.

මේ පෙත්සම විභාග කරලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නා. ආර්ථික වශයෙන් රට බංකොලොත් කිරීම හේතුවෙන් ගෝඨාභය , මහින්ද , බැසිල් , කබ්රාල් , ජයසුන්දර , ආර්ටිගල ඇතුළු මහබැංකුවේ මුදල් මණ්ඩලය වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තින්දු කරලා තිබෙනවා.

මේ තීන්දුව ඓතිහාසික තීන්දුවක්. මේ තීන්දුව රටේ දේශපාලඥයින්ගේ ඉදිරි ක්‍රියාකලාප හා ජනතාවට වගකීම් හා වගවීම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත්වෙලා ජනතාවගේ පැත්තේ ඉදන් පාලකයා හා ජනතාව අතර ඇතිවන සමාජ ගිවිසුම බිඳදැමු බව මේ තීරණයෙන් පැහැදිලි වෙනවා. ඔවුන් ජනතා විශ්වාසය කඩ කරලා තිබෙනවා. ඒ වගේම රටේ සිටින සියලුම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා තිබෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තිබෙනවා. මේ තීන්දුව හරහා රටට යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සහ පාලකයන් ජනතාවට වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රකාශයට පත් කරලා තිබෙනවා.

රටට ජනතාවට වගකියන පාලකයන් ඇතිවෙන්න ඕන. පාලකයන්ට හිතුමතේට උද්දච්චලෙස තමන්ගේ තීන්දු හරහා වැඩ කරන එක වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණ මෙම නඩු තීන්දුවෙන් තීන්දු කරලා තිබෙනවා. පසුගිය කාලය පුරාම ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව ගත් වැරදී තීන්දු හේතුවෙන් රටේ ආර්ථික අර්බුදයක් ඇතිවී තිබෙන බව සමගි ජනබලවේගය ජනතාවට පැවසුවා. අපි කියපු දේවල් බොහෝ දෙනෙක් ප්‍රතික්ශේප කල . මේ ආර්ථික අර්බුදය ඇතිවෙන්න හේතුවූ කරුණ හරියටම කිව්වේ සමගි ජනබලවේගය. රුපියල් බිලියන 700 ක බදු ආදායම අඩු කර ගත්තා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගිහින් රටේ ගැටලු විසඳන්නන කිය කිවවා. ඒ සියලු කාරණ පෙන්නලා දෙනකොට රජපක්ෂලා එ්පා පිළිගත්තෙ නෑ. අපි කිටපු සෑම කාරණයක්ම ශ්‍රේෂ්ටාධිකරණය සනාත කරල තිබෙනවා.

පසුගිය කාලයේ රට විනාශ කරපු උදවිය රට බංකොලොත්වීමට වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය කියලා ඉවරයි. රටේ ආර්ථිකය විනාශ කිරීම තුළින් මිනිස්සුන්ට සිදුවුණා තෙල් පෝලිම් , ගෑස් පෝලිම් වල මැරෙන්න. ළමයින්ට කන්න දෙන්න නැතුව ලමයි එක්ක වහ බීලා මැරුණා. මේ සියල්ලට රාජපක්ෂලා වගකිව යුතුයි. රටේ දරුවන්ගේ ඇතුළු සියලු දෙනාගේ අනාගතය විනාශ කරපු එකට රාජපක්ෂලා වගකිව යුතුයි. රාජපක්ෂලාට කරන්න තියෙන්නේ සියල්ල අකුලගෙන ගෙවල්වලට යන එක. රාජපක්ෂලා කරපු අපරාධය ගැන සමගි ජනබලවේගය වේදිකාවල කතා කළා ශ්‍රේෂ්ඨාධිකරණය ඒක නීතියෙන් තහවුරු කළා.

රාජපක්ෂලාට අපරාධ කරන්න උදව් කරපු අයත් ඉන්නවා. රාජපක්ෂලා ගත්ත තීන්දුවලට අත උස්සපු කැබිනට් එකේ කී දෙනෙක් ඉන්නවද. වික්‍රමසිංහ සමඟ කැබිනට් මණ්ඩලයේ ඉන්න පිරිසත් රට බංකොලොත්වීමේ වගකීම භාර ගන්න ඕන. පොහොට්ටුවේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රට බංකොලොත්වීමේ වගකීම භාර ගන්න ඕන. රාජපක්ෂලාට උපදසේ දුන්න සියලු දෙනා ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න නඩු තීන්දුවේ කොටස්කරුවන්.

රාජපක්ෂලා රටේ ආර්ථිකය කඩා වැට්ටුවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තිබෙනවා. රටේ ජනතාවගේ බදු මුදල් වලින් ගෝඨාභය රාජපක්ෂ තවම නඩත්තු වෙනවා. මහින්ද රාජපක්ෂ තවම නඩත්තු වෙනවා. ඔවුන්ට විශ්‍රාම වැටුප් ලැබෙනවා. රාජපක්ෂලාගේ විදුලි බිල් , ජලබිල් , නිල නිවාස නඩත්තු කිරීම් සිදුවන්නේ රටේ බදු මුදල්වලින්. වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ නවත්වන්න වහාම පියවර ගත යුතුයි. රටේ බදු මුදල්වලින් රට විනාශ කරපු නඩය නඩත්තු කරන්න ආණ්ඩුවට කිසිදු අයිතියක් නෑ.

ආර්ථික අපරාධ කරපු පිරිසට දඩුවම් කරන්න ජනාධිපති වික්‍රසිංහ කටයුතු කරනවාද ? ආර්ථික ඝාතකයන් නිසා ජනතාවට සිදුවුණ අලාභය පියවාගන්න වික්‍රමසිංහ ජනාධිපතිවරයා අලුත් නීති පාර්ලිමේන්තුවට ගේන්න ඕන. නමුත් අවසනාවකට ආර්ථික අපරාධ චෝදනාවලට ලක්වුණ පුද්ගලයන්ගේ රැකවලා විදිහට තමයි ජනාධිපති වික්‍රමසිංහ කටයුතු කරන්නේ. වික්‍රමසිංහ ජනාධිපතිගෙන් ඒ දේවල් අපිට බලාපොරොත්තු වෙන්න අමාරුයි. ආර්ථික ඝාතකයන් වෙනුවෙන් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගන්න තීන්දු ගැන රටේ ජනතාව දැනුවත් කරන්න ඕන.

අල්ලසට දූෂණයට එහෙරව අලුත් පනත් ගෙනාවා. එක්සත් ජාතින්ගේ සැසිවාරයට ගිහින් ජනාධිපතිවරයා අල්ලස හා දූෂණය ගැන කතා කළා. ආර්ථික අපරාධවලට සම්බන්ධ බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නම් කළ පිරිසක් අපේ රටේ දැන් ඉන්නවා. ඒ පිරිස වෙනුවෙන් ජනාධිපති වික්‍රමසිංහගේ ක්‍රියාකලාපය ජනතාව බලාගෙන ඉන්නවා.

වර්තමාන කැබිනට් මණ්ඩලයේ සිටින පිරිසෙන් සියයට 75 ක් ගෝඨාභයගේ කැබිනට් මණ්ඩලයේ හිටපු පුද්ගලයින්. ඔවුන් ගෝඨාභයගේ වැරදි තීන්දුවලට අත උස්සපු උදවිය. ආර්ථික ඝාතනයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නම් කළ පිරිස සමඟ තමයි වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකතු වෙලා ඉන්නේ. ඔවුන් සමඟ එකතුවෙලා තමයි වික්‍රමසිංහ ජනාධිපතිවරයා අයවැය ගේන්නේ. රට විනාශ කරපු අය සමඟ ගේන අයවැයක් කොහොමද සාර්ථක වෙන්නේ.

ගෝඨාභය ඇතුළු පිරිස ගත් වැරදි ආර්ථික තීන්දු හේතුවෙන් රටේ ව්‍යාපාර බංකොලොත් වුණා. ජනතාවගේ ආදායම් මාර්ග විනාශ වුණා. ස්වයං රැකියා විනාශ වුණා. ගෝඨාභය ඇතුළු පිරිස නිසා ඔවුන්ට සිදුවුණ අලාභය ලබාගන්න ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් යන්න පුලුවන්. ‘‘


ප්‍රශ්නය – 2024 අයවැයෙන් ජනතාවට සහන ලබාදීලා තිබෙනවා , රාජ්‍ය සේවක වැටුප් වැඩිකරලා තිබෙනවා කියලා ආණ්ඩුව කියනවා.

පිළිතුර – පඩි වැඩිකරලා නෑ. අප්‍රේල් මාසයේ ඉදලා දීමනාවක් ලබාදෙන්නේ. ජනවාරි ඉදන් වැට් බද්ද සියයට 18 දක්වා වැඩි වෙනවා. වැට් බද්ද අත්‍යාවශ්‍ය භාණ්ඩවලට පැනවෙනවා. ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සීඝ්‍ර ලෙස වැඩිවෙනවා. අප්‍රේල් මාසයේ දෙන දීමනාවෙන් කිසිදු ප්‍රයෝජනයක් නෑ. වැට් බද්දෙන් එකතු කරන මුදල අනිත් පැත්තෙන් දීමනාවක් විදිහට රාජ්‍ය සේවකයන්ට ලබාදෙනවා.

රටේ දුගී දුප්පත් ජනතාවට , මධ්‍යම පාන්තිකයන්ට මේ අයවැයෙන් ෙසහනයන් දෙන්න ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා. 2023 අයවැය යෝජනා 2024 අයවැයටත් ඇතුළත් කරලා තිබෙනවා. ඒවා යෝජනා විතරයි. වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහුගේ ලෝකයේ ඉදන් තමයි අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ.

අපි දැනටමත් අයවැයේ අඩුපාඩු පාර්ලිමේන්තුව තුළ පෙන්වන්න කටයුතු කරනවා. රටට ආයෝජකයන් ගෙන්වා ගන්න, අපනයන ආර්ථිකයක් ඇති කරන්න ,ප්‍රධාන කරුණු ගැන ආණ්ඩුව අයවැයෙන් ඉදිරිපත් කරලා නෑ.

ප්‍රශ්නය – නාමල් රාජපක්ෂ කියනවා අයවැය ගැන බලලා තීන්දුවක් ගන්නවා කියලා. පොදුජන පෙරමුණ ඔබතුමාලා සමඟ එකතුවෙලා අයවැය පරාජය කරලා පාර්ලිමේන්තු මැතිවරණයකට යයිද?

පිළිතුර – ඒ ගැන ඔවුන් තාම අපි සමග අදහස් දක්වලා නෑ. නාමල් රාජපක්ෂ එකක් කියනවා. එයාගේ තත්තා තව එකක් කියනවා. එයාගේ බාප්පා රැට රැට ජනාධිපතිව හමුවෙනවා. නාමල් වික්‍රමසිංහ ජනාධිපතිට විරුද්ධයි වගේ කතා කරනවා. නමුත් එයාගේ තත්තා කියනවා අයවැය හොදයි බලලා තීන්දුවක් ගන්නවා කියලා. ඡන්ද තියන්නේ නැතුව ඉන්න බාප්පා ජනාධිපති එක්ක ගිවිසුම් ගහනවා. රටේ ආර්ථිකය බංකොලොත් කරන්න වගකිව යුතු පිරිස කවුරුන්ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා ඉවරයි. නාමල්ලගේ බයිලා අහලා ජනතාවට ඇතිවෙලා තියෙන්නේ. අකුලගෙන යන්න දැන්. රට මේ තරම් අමාරු තැනටක ගෙනාවේ රාජපක්ෂලා. වික්‍රමසිංහව ජනාධිපති කළේ රාජපක්ෂලාගේ ගැලවිල්ලට.

ප්‍රශ්නය – ආණ්ඩුව රාජ්‍ය ආදායම වැඩි කරගන්න වැට් බද්ද ලබන අවුරුද්දේ ඉදලා වැඩි කරනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩවලටත් සියයට 18 කින් වැට් බද්ද එකතු වෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ යනවා. එහෙම වුණොත් ජනතාව පරිභෝජනය අවම කරයි නේද? ජනතාවට මොනවගේ තත්ත්වයක් උදාවෙයිද?

පිළිතුර – ආණ්ඩුව රාජ්‍ය ආදායම වැඩි කර ගන්න වැට් බද්ද වැඩි කරනවා. ආණ්ඩුවේ වියදම් වැඩි වෙනවා. ආදායම වැඩි කර ගන්න කිසිදු වැඩපිළිවෙලක් රජයට නෑ. ආණ්ඩුවේ වියදමට සරිලන විදිහට ආදායම වැඩි කරන්න ආණ්ඩුව ණය ගන්න ඕන. නැත්නම් සල්ලි අච්චු ගහන්න ඕන. නැත්නම් වැට් බද්ද වැඩි කරනවා. ජනවාරි පළමු වැනිදා සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ 100 කට වැට් බද්ද වැඩි වෙනවා. මේ භාණ්ඩ වලට වැට් බද්ද පනවපු ගමන් ජනතාවගේ පරිභෝජනය අඩු වෙනවා. විදුලි බිල තුන්පාරක් සංශෝධනය කළා. පවුල් ලක්ෂ 7 ක විදුලිය කප්පාදු කළා කියලා ලංවීම කියනවා. විදුලිබිල ජනතාවට ගෙවා ගන්න බෑ. එතකොට ලංවීමට ලැබෙන ආදායම අඩුවෙනවා. රාජ්‍ය ආදායම නැ කියමින් වැට් බදු වැඩිකළාට ජනතාවගේ ආදායම වැඩි වෙන්නේ නෑ. ජනතාවගේ පරිභෝජනය අඩුවෙනවා. රුපියලේ අගය අඩුවීම නිසා . භාණ්ඩ හා සේවා ලබාගැනීමේ ක්‍රය ශක්තිය අඩුවෙලා තිබෙනවා.

ප්‍රශ්නය – මහල් නිවාස වල කුලිය කපා හැරීමෙන් මහල් නිවාස වල සිටින ජනතාවට ජනාධිපතිවරයා සහනයක් ලබාදීලා තිබෙනවා.

පිළිතුර – ජනාධිපතිවරයා 1994 දී තමයි කොළඹට එන්නේ. අවුරුදු 25 ක් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැඩිම මනාප කොළඹ ආසන 5 කින් ලබාගත්තා. පස් වතාවක් ජනාධිපති රනිල් වික්‍රමසිහ අගමැතිවෙලා හිටියා. ඒ කාලය තුළ එතුමාට ඡන්දය දීපු ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න බැරි වුණා. යහපාලන ආණ්ඩුවේදී මම යෝජනා කිහිපයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට භාර දුන්නවා. ඒ එක යෝජනාවක්වත් ක්‍රියාත්මක කරන්න එතුමාට උවමනාවක් තිබුණේ නෑ. මහල්නිවාස වල ඉන්න ජනතාවට නොමිලේ උප්පු ලබාදෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. අවුරුදු 25 ක් එතුමාට ඡන්දය දුන්න ජනතාවට කරන විශාල සේවාවක්.