නව අයවැයෙන් ඉන්දන සඳහා 10%ක නව බද්දක් පැනවීමට රජය යෝජනා කර තිබෙන බවත් එම බද්ද පෙට්‍රල්, ඩීසල්, ගල් අඟුරු සදහා පැනවීමටත් කටයුතු සුදානම් කර තිබෙන බවත් මයන්ත දිසානායක මහතා පැවසීය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලික තහනමකට ලක්කිරීම පිළිබඳ සමගි ජනබලවේගය කණගාටු වන බවත් තාවකාලික අත්හිටුවීම ප්‍රයෝජනයට ගෙන එම කාලය තුළ ක්‍රිකට්වලට අලුත් නීති මාලාවක් සකස් කරන්න ආණ්ඩුවට හැකියාව තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පැවැසීය.

අතීතයෙත් අන්තර් පාලක කමිටු පත්කර තිබෙන බවත් නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග තහනම් කර නැති බවත් හදිසියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග තහනම් කිරීම ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් දිසානායක මහතා හෙතෙම කීය.

මයන්ත දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (12) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මයන්ත දිසානායක මහතා මෙසේ පැවැසීය.

‘‘මෙවර අයවැයෙන් රජය බලාපොරොත්තු වෙනවා ඉන්ධන මිල ඉහළ දාන්න. ඉන්ධන සඳහා සියයට 10 ක බද්දත් පනවන්න රජය බලාපොරොත්තු වෙනවා. මේ බද්ද පෙට්‍ර්ල් , ඩීසල් සහ ගල් අඟුරුවලට මේ බද්ද එකතු කරන්න ආණ්ඩුව යෝජනා කරලා තිබෙනවා. මේ බද්ද හරහා ඩීසල් මිල , පෙට්ට්‍රල් මිල ඉහළ යනකොට අනිවාර්යෙන්ම ජිවන වියදම සහ භාණ්ඩවල මිල ගණන් වැඩිවෙනවා. ඉන්ධන වලට එකතු කරන බද්ද හරහා බනිස් ගෙඩියේ සිට සියලු දේවල් ජනවාරි මාසයේ සිට ඉහළ යනව බව කණගාටුවෙන් වුණත් ජනතාවට කියන්න සිද්ධ වෙනවා.

2022 සිට වරයාට පැමිණිලා තිබුණ තෙල් නැව් සඳහා ප්‍රමාද ගාස්තු ලෙස රජය ඩොලර් මිලියන 170 ක පමණ ගෙවලා තිබෙනවා. ඒ වගේම පසුගිය අවුරුද්දේ සිදුවුණ සීනි බදු වංචාව නිසා ආණ්ඩුවට මිලියන 15,000 ක පමණ පාඩුවක් ආණ්ඩුවට සිදුවුණා. ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය දූෂණ විරෝධී කොමිසන් සභාවට පැමිණිලි කළා. ඒ පැමිණිල්ලට සිදුවුණ දේ පිළිබඳව තවම කොමිසින් සභාව අපිට දැනුම් දුන්නේ නෑ.
ඊයේ පෙරේදා නැවත ආණ්ඩුව ශත 25 ට තිබුණ සීනි බද්ද රුපියල් 50 දක්වා වැඩි කළා. ඒ හරහා රජයට රුපියල් මිලියන 450 ක පමණ පාඩුවක් රජයට සිදුවෙලා තිබෙනවා.

මෙවර අයවැයෙන් රජය බලාපොරොත්තු වෙනවා වැටුප් වැඩි කරන්න. ඒක හොද දෙයක්. නමුත් මේ රටේ බහුතරයක් ඉන්නේ රජයේ සේවකයන් පමණක් නෙවෙයි. පුද්ගලික ආයතනවල සිටින සේවකයන්ටද දෛනික ජීවන වියදම දරා ගැනීමට නොහැකිව විශාල ගැටලු ගණනාවකට මුහුණ දීලා සිටිනවා.

සියයට 20 ක් 25 ක් අතර ප්‍රමාණයක් තමයි ජල විදුලිය හරහා විදුලිය ලබාගන්නේ. නමුත් මේ දිනවල සියයට 60 ක් පමණ ජල විදුලියෙන් තමයි විදුලිය ලබාදෙන්නේ. ජලයෙන් විදුලිය නිෂ්පාදනය කළාට විදුලි ගාස්තු අඩු කරලා නැ. නමුත් තවම ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලන්නේ විදුලි ගාස්තු වැඩි කළ යුතුයි කියලා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යටතේ නිර්මාණය කරන ආණ්ඩුවක් තුළ අපි බලාපොරොත්තු වෙනවා සෑම නිවසකටම සෝලා පැනල් එකක් ලබාදීමේ ක්‍රමවේදයක් ඇති කරන්න. රාමුවෙන් පිට සංකල්පවලට ගියොත් රටේ විදුලි අර්බුදයට විසඳුම් සොයන්න පුලුවන්. නමුත් වර්තමාන රජය එවැනි විකල්ප පිළිබඳ හිතන්නේ නෑ.

ගාමිණි දිසානායකගේ පුතා විදිහට මට අයිතියක් තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ අප තුළ තිබෙන ස්ථාවරත්වය කුමක්ද කියලා පැහැදිලි කරන්න. ගාමිණි දිසානායක ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කාලයේ තමයි 1981 දී ජුලි මාසයේ 21 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්වරම් හිමිකර ගත්තේ. ටෙස් වරම ලංකාවට ලබාදෙන්න උත්සහ කරන්නේ ටෙස් වරම හරහා ලංකාවේ දුෂ්කර පළාත් වල ඉන්න දක්ෂ දරුවන්ට අවස්ථාවක් ලබාදෙන්න යැයි ටෙස් වරම ලබාගන්නා අවස්ථාවේ ගාමිණි දිසානායක පවසා තිබුණා. එහෙම අදහසකින් තමයි ලංකාවට ටෙස් වරම් ලබාදුන්නේ. 1996 ලෝක කුසලානය ජයග්‍රහනය කරන අවස්ථාවේ ගාමිණි දිසානායක ජීවතුන් අතර හිටියේ නෑ. 1996 ලෝක කුසලානය ජයග්‍රහනය කරාට පස්සේ ලංකාවේ ක්‍රිකට්වලට මුදල් ලැබෙන්න පටන් ගත්තා. ක්‍රිකට් ක්‍රීඩාව අන්ත දූෂිත බවට පසුව පත්වුණා. තාවකාලික ක්‍රිකට් තහනමක ලංකාව පත්වීම ගැන අපට විශාල කණගාටුවක් තිබෙනවා. තාවකාලික අත්හිටුවීම අපට ප්‍රයෝජනයට ගන්න පුලුවන්. මේ කාලය තුල ආණ්ඩුවට පුලුවන් හදිසි පනත් පාර්ලිමේන්තුවට ගෙනල්ලා ක්‍රිකට් වලට අලුත් නීති මාලාවක් සකස් කරගන්න. ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි කියලා පාර්ලිමේන්තුවේදී පනතක් ඉදිරිපත් කළා. ක්‍රිකට් පාලක මණ්ඩලයට ලැජ්ජාවක් තිබෙනවානම් ඒ පනත සම්මත වුණ අවස්ථාවේදීම ඉල්ලා අස්වෙන්න තිබ්බා. ඔවුන් තාමත් පරක්කු නෑ ඉල්ලා අස්වෙන්න. ක්‍රිඩා ඇමැතිවරයා ක්‍රිකට් වෙනුවෙන් කරන්න යන වැඩපිළිවෙලට අපි සම්පුර්ණ සහයෝගය ලබා දෙනවා. රෝෂාන් රණසිිංහ ඇමැතිවරයාගේ ආරක්ෂාවත් මේ අවස්ථාවේ තහවුරු කිරීම ද වැදගත්. ක්‍රිඩා ඇමැතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් එක්ක කතා කරලා මේ ගැටලුව විසදගන්න වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කියන්නේ දේශපාලන බලපෑමක් ක්‍රිකට් වලට කරන්න එපා කියලා. අතීතයෙත් අන්තර් පාලන කමිටු පත් කරලා තිබෙනවා. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග තහනම් කරලා නෑ. හදිසියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග තහනම් කළේ කොහොමද කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් සිදුකළ යුතුයි. ‘‘


ප්‍රශ්නය – ක්‍රිඩා ඇමතිගේ ඇමැතිකම මාරුක‍ළොත් ඉදිරි වැඩකටයුතු කරගෙන යන්න පුලුවන් වෙයිද?

පිලිතුර – එහෙම නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා. සමගි ජනබලවේග රජයක් තුළ ක්‍රිඩාව සම්බන්ධයෙන් නිවැරදි ප්‍රතිපත්ති තීන්දුවක් අරගෙන පාර්ලිමේන්තුවට නීති රීති ගෙනල්ලා ක්‍රිඩාවල තිබෙන මාෆියාවන් නැති කරන්න කටයුතු කරනවා. සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ මේ ක්‍රිඩා මාෆියා සියල්ල සුද්ද කරනවා.

ප්‍රශ්නය – ක්‍රිකට් ප්‍රශ්නයට සාගල රත්නායක මැදිහත්වීම ඔබතුමා කොහොමද දකින්නේ.

පිළිතුර – ජනාධිපති දැග ගන්න ඕන බලය පවරලා තිබෙන කැබිනට් ඇමැති එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නය ගැන තින්දු තිරණ ගන්න. අවශ්‍ය නම් හදිසි පනතක් හරහා ක්‍රිකට් පාලක මණ්ඩලය සුද්ද කරන්න ජනාධිපතිට පියවර ගන්න පුලුවන්.

ප්‍රශ්නය – තරුණ දේශපාලඥයෙක් විදිහට ඔබතුමා මේ ක්‍රිකට් ප්‍රශ්නය විසදන්න මොනාද ඉදිරිපත් කරන යෝජනා

පිලිතුර – ක්‍රිකට් ක්‍රිඩාවට හරි නිතිරිති ගේන්න පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න් ඕන. ඒවා දේශපාලන කෝණයකින් බලන්න හොද නෑ. පක්ෂ විපක්ෂ එකතුවෙලා නීති සකස් කරන්න ඕන. දුෂිතයන්ට අනිවාර්යෙන් දඩුවම් දෙන්න ඕන. ලැබෙන සල්ලි පිළිබඳ හරියාකාර විගණන කරන්න ඕන. මේ ගැටලුවට පාර්ලිමේන්තුව මැදිහත් විය යුතුයි. ආණ්ඩුවේ රෝෂාන් ඇමැතිවරයා සමඟ සහ ශම්මි සිල්වා සමඟත් කණ්ඩායමක් ඉන්නවා. අනිවාර්යෙන් සත්‍ය ජයගනී. අපේ ආණ්ඩුවක් තුළ මේ මාෆියා සුද්ධ කරනවා.