පාර්ලිමේන්තුවේ දී නිර්භයව සත්‍ය හෙළිදරව් කරන විට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු කණ්ඩායමක් එකතුවෙලා මට පහරදීමට උත්සාහ කරමින් තර්ජනය කරන අවස්ථාවේ දී මට සිහිවුනේ පාකිස්ථානයේ දී ම්ලේච්ඡ අන්තවාදීන් කණ්ඩායමකගේ පහරකෑමට ලක්ව මිය ගිය ප්‍රියන්ත කුමාර.

පාර්ලිමේන්තුවේ දී දැඩි ආවේගයෙන් තර්ජනය කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු ආණ්ඩුවේ මැර මන්ත්‍රී කණ්ඩායම දුටු විට, පාර්ලිමේන්තුවේදී හෝ ඉන් පිටතදී මා ඝාතනය කරමින්, ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තුළ මා නගන හඬ නිහඬ කිරීමට උත්සාහ ගනු ඇති බවට දැඩි කළකිරීමක් ඇති වුනා. දරුවන් සිටින පියෙක් ලෙස අනාගත දරු පරපුර වෙත අප උරුම කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දායාදයන් ද, නැත්නම් ම්ලේච්ඡත්වයෙන් යුත් පාලන ක්‍රමයක ආදර්ශයන් ද යන ප්‍රශ්නය මගේ සිතට නැගුණා.

මාගේ වසර දොළහක පාර්ලිමේන්තු ඉතිහාසය තුළ මේ ආකාරයේ ප්‍රචණ්ඩත්වයකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙයයි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ දින පනස් දෙකේ කුමන්ත්‍රණය අවස්ථාවේ දී හැසිරුණ ආකාරයටත් වඩා ම්ලේච්ඡ ආකාරයට හැසිරෙන මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය දුටු විට අපේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවන තර්ජනය සුළු කොට තකන්න බැහැ.

උපුටා ගැනිම – මනුෂ නානායක්කාර Facebook පිටුවෙන්