කාන්තා නියෝජනය වැඩි කිරීමට නොයෙක් අභියෝග විවිධ අවස්ථාවල පැමිණි නමුත් ඒ සියල්ල මධ්‍යයේ පවා යහපාලන ආණ්ඩුව කාන්තා නියෝජනය වර්ධනය කිරීම වෙනුවෙන් ඇප කැප වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විවිධ හේතු මත කාන්තාවන්ගෙ නියෝජනය වැඩි දියුණු කිරීමට බාධා මතු වන බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගයේ එවැනි බාධා නැති බවද පැවසීය.

කාන්තාව සතු ඉතිරි කිරීමේ සහ සකසුරුවමේ වටිනාකම ජපානය වැනි රටවල් දියුණු වූ ආකාරයෙන් වටහා ගත හැකි බව කී විපක්ෂ නායකතුමා, සැමියා උපයන මුදල වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ හැකියාව කාන්තාව සතු බවද පැවසීය.

ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේදීත් නියෝජනයේදීත් කාන්තාවට වඩාත් පුළුල් ඉඩකඩක් ලබා දිය යුතු බවද විපක්ෂ නායකතුමා පැවසීය.

“වෙනසකට මගක්” නමින් කාන්තා නියෝජනය පිළිබඳව, කාන්තා මන්ත්‍රීවරියන් සියයක්, සය මසක පුහුණුවකට ලක් කොට විසිරයාමේ අවස්ථාව අද (29) කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.

එය සංවිධානය කරනු ලැබුවේ පැෆරල් ආයතනය විසිනි.

අද වන විට පෝෂණ ඌනතාවය හේතුකොටගෙන කාන්තාවන් බලවත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව පැවසූ විපක්ෂ නායකතුමා රටක ඉදිරි ගමන ශක්තිමත් වීමට නම් කාන්තාව සවිබල ගැන්විය යුතු බවද පැවසීය.