වම්තමන් ක්‍රිකට් පාලකක මණ්ඩලය තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පසුගිය දා අතුරු කමිටුවක් පත්කර තිබේ.

1973 අංක 25 දරන ක්‍රීඩා නිතියට අනුව තමන්ට පැවරී ඇති බලතල මත ක්‍රීඩා අමාත්‍යවරයා එම අතුරුපාලක කමිටුව පත් කළ බව සදහන් වන අතර ඒ සදහා

  1. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම්
  2. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ
  3. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා
  4. අර්ජුන රණතුංග (සභාපති)
  5. එච්. කේ. උපාලි ධර්මදාස
  6. නීතිඥ රහිත නිර්මල රාජපක්ෂ
  7. එම්. එච්. පමල්ල්ඩීන්

යන පුද්ගලයින් පත්කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය රටට බලපාන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා

  1. විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි,
  2. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්,
  3. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර
  4. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර

ඇතුලත්ව සිව් පුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් ඊයේ  (06) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පත් කරනු ලැබීය.

ක්‍රීඩා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට පියවර ගත් අතර ඒ සම්බන්ධයෙන් රජය දැනුවත් කර නොතිබූ බව ප්‍රකාශ විය. අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත්කරනු ලැබුයේ මේ පසුබිම යටතේය.

ජනපතිගෙයි ක්‍රීඩා ඇමතිගෙයි කමිටු සූදුව ගැන විපක්ෂ නායකවරයාගේත් අප්‍රසාදය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ වංචා හොරකම් තුළ යම් කිසි වෙනසක් ඇති කරන්න ක්‍රීඩා අමාත්‍යවරයා අතුරු කමිටුවක් පත්කර ඇති බවත් මෙසේ කමිටු පත් කරනවා සේම පාසල්, නගරය, සංගම්, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරිමට එතුමාට ඇති වැඩපිළිවෙළ මේ සතිය තුළ පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (7) පාර්ලිමේන්තුවේදී ක්‍රිකට් ක්‍රීඩාවේ මතුව ඇති අර්බුධය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ වඩාත් විහිළු සහගත කරුණ නම් මෙම අතුරු කමිටුවේ වැඩ අධීක්ෂණය කරන්න ජනාධිපතිවරයා විසින් කැබිනට් අනුකමිටුවක් පත් කර ඇති බව යි. මෙය කමිටු සූදුවක් බවත් තමා විශ්වාස කරන ආකාරයට ක්‍රිකට් පරිපාලනයේ සිටිය යුත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතා ශූරතා දැක්වූ මෙන්ම දූෂණ වංචා චෝදනා ආදිය නොමැති පුද්ගලයන් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙම ගැටලුවේදී ක්‍රීඩා ඇමතිවරයා එක් මතයක් සහ ජනාධිපතිවරයා තවත් මතයක් දැරුවොත් නැවත අර්බුධකාරී තත්ත්වයක් නිර්මාණය වී ගැටලුව උත්සන්න වන බව යි.