කතානායකවරයා විසින් ලබා දෙන සමහර තීන්දු තීරණ හරහා විධායකයේ නියෝජිතවරයකු ලෙස ව්‍යාවස්ථාදායකගේ ප්‍රධානියා ලෙස විධායකයට අවශ්‍ය ආකාරයට තීන්දු තීරණ ලබා දීම තුළ රටේ අධිකරණය හෑල්ලුවට ලක් කරන බවත් රටේ අධිකරණ ක්‍රියාවලියට ඇගිලි ගසන බවත් අධිකරණ තීන්දුවලට බලපෑම් කරන බවත් මෙය වඩා භයානක තත්ත්වයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (11) පාර්ලිමේන්තුවේ දී වත්මන් රජය විසින් අධිකරණයට සිදු කරන බලපෑම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමිනි.

පසුගිය කාලයේ මේ පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරු දෙපලක් වරප්‍රසාද ප්‍රශ්න යොමු කරමින් මැතිවරණ කොමිසමත් අධිකරණයත් බිය වැද්දවූ බවත් මැතිවරණය සම්බන්ධයෙන් ලබා දුන් තීන්දු අභියෝග කළා, ජනාධිපති අධිකරණ විනිසුරුවන් භෝජන සංග්‍රහවලට කැඳවා තමන්ට පක්ෂපාතී කර ගැනීමට උත්සාහ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරිම තුළ සුපිරි කෝටිපතියන්ට සහන ලබා දී පුරවැසියන්ගේ අර්ථ සාධක අරමුදලට පවා බලපෑම් කරන විට එය තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වූවා යැයි අධිකරණය හමුවේ අභියෝග කරන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ඇවිත් තමන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වූ බවත් එය වරප්‍රසාද කමිටුවට දැනුම් දෙන ලෙසත් කතානායකවරයාට දැන්වූ බව විපක්ෂ නායකවරයා පැවසීය.

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන සංවරණ සහ තුළන තුළින් එකිනෙකාගේ අනන්‍යතාව සහ ස්වාධීනත්වය ශක්තිමත් කරන මුත් කතානායකවරයාගේ තීන්දුව හරහා කතානායකවරයා ජනාධිපතිගේ ඒජන්තවරයකු, නියෝජිතවරයකු ලෙස පාර්ලිමේන්තුවේ තීන්දු තීරණ ලබා දෙන බවට ලොවට පෙන්වන බවත් මොවුන් ගරු අධිකරණයටත් අපක්ෂපාතී විනිසුරුවන්ටත් බලපෑම් හා තර්ජනය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

මේ කටයුතු වැරදි බවත් මේ ආණ්ඩුව තව වසරකින් දෙකකින් වෙනස් වන බව කතානායකවරයා ලෙස තම නම්බුවත් ආත්මගරුත්වයත් ආරක්ෂා කර ගෙන විධායකගේ අතකොලුවක් නොවී සිටින ලෙසත් පිරිසුදු තීන්දුවක් ලබා දෙන ලෙසත් මීට පෙර ලබා දුන් තීන්දුව නැවත හරවා ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.