සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සමඟ විවාදයක් පැවැත්වීමට ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් කළ අභියෝගය මේ වන විට වෙනත් මඟකට ගමන් කරමින් තිබේ. ඒ ආර්ථික කමිටු අතර පැවැත්වීමට අභියෝග කළ විවාදය පක්ෂ දෙකෙහි ජනාධිපති අපේක්ෂකයන් අතර පැවැත්වීමට ජාතික ජන බලවේගයෙන් කළ යෝජනාවත් සමඟයි.

සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම විවාදය පැවැත්වීමට ආදාල සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා පත්කර ඇති අතර විවාදයේ වත්මන් තත්වය පිළිබඳව නලින් බණ්ඩාර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව,

සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් තිදෙනා සමඟ ජාතික ජනබලවේගයේ ආර්ථික සම්පාදකයින් තිදෙනාට රටේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට සමගි ජනබලවේගය කල ආරාධනය, පිළිනොගනමින් විවාදය වෙනත් දිශාවකට යොමු කිරීමට දරණ ප්‍රයත්නය අපි දැඩි ලෙස හෙලා දකිමු.

තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් සහ අනාගතයේ ජාතික ජන බලවේග ආණ්ඩුවක මුදල් අමාත්‍ය ධුරයට යෝජනා කරණු ලබන්නේ යැයි අනුර කුමාර දිසානායක මහතා හදුන්වා දුන් පිරිස මෙම විවාදය මඟ හරිමින් අනුර කුමාර දිසානායක මැතිතුමා හා සජිත් ප්‍රේමදාස මැතිතුමා අතර විවාදයකට සුදානම් යැයි පැවසීම ප්‍රශ්ණ සහගතය. එම කණ්ඩායම අපගේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදක කණ්ඩායම වන කබීර් හෂීම් මැතිතුමා, ඉරාන් වික්‍රමරත්න මැතිතුමා, ආචාර්ය හරෂ ද සිල්වා මැතිතුමා ට මුහුණ දීමට නොහැකි නම් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිමු.

දැන් මෙම විවාදය සජිත් -අනුර-රනිල් යන ජනාධිපති අපේක්ෂකයින් අතර කල යුතු යැයි ඔවුන් කරනු ලබන යෝජනාව පුදුම සහගතය.රනිල් වික්‍රමසිංහ මහතා කුමන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාද? යන්න ඔවුන් හෙලි කල යුතුය.එසේ නොමැතිව නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් හත් පට්ටියක් සහ තවත් තෙල් බිඳක් නොසොයන ලෙස දැනුම් දෙනු කැමැත්තෙමි.එමෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා,අනුර කුමාර දිසානායක මැතිතුමා සමඟ විවාදට එකඟ වුයේ කිසිඳු පූර්ව කොන්දේසියකින් තොරව බව ද අවධාරණය කරමි.

මෙම විවාද දෙක පැවැත්වීමට සුදුසුම කාලය ලෙස මැයි මාසය බව අප යෝජනා කරමු. පළමුව ආර්ථික කම්ටුවේ සාමාජිකයන් අතරත්, ඉන්පසු නායකයින් අතර විවාදය පැවැත්වෙන දිනයන් එක විටම තීරණය කර ප්‍රකාශයට පත් කල යුතුය. පළමුව ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන කමිටුව අතර විවාදයත් දෙවනුව සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ අනුර කුමාර දිසානායක මැතිතුමා සමඟ විවාදය රටේ ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය නීතියේ ආධිපත්‍ය, විදෙස් ප්‍රතිපත්තිය ඇතුළු පුළුල් පරාසයක විවාදයකට අපි සුදානම් බව දැනුම් දෙමු.

විවාදය පවත්වනු ලබන ස්ථානය, නාලිකාව හෝ නාලිකාවන් පිළිබදව දෙපාර්ශවයම පොදු එකඟතාවයකින් තීරණය කිරීමට පුළුවන.

මෙම විවාදය සඳහා මුලින්ම අභියෝගය සිදු කලේ මමයි.එයට පදනම වුයේ මෙයට සති කිපයකට පෙර ජාතික ජන බලවේගය තමන්ගේ ආර්ථික කවුන්සලය ලෙස සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රමුඛ පිරිසක් හදුන්වා දීම නිසාය. අපගේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදක කණ්ඩායම සහ අපගේ පක්ෂයේ මන්ත්‍රිවරුන් මාධ්‍ය හමුවලදී සහ ප්‍රසිද්ධ ජන හමුවලදී මේ පිළිබඳව සිහිපත් කිරීම් සිදු කරනු ලැබීය. ජාතික ජන බලවේගය මෙම විවාදයය පිළිබඳව දක්වන ප්‍රතිචාර තුළ ඔවුන්ට ආවේනික අතීතය අමතක කිරීම ද දක්නට ලැබේ. විවාදයේ අභියෝගයේ ආරම්භය සහ එය කලේ කවුරුන්ද යන වග යටපත් කරමින් විවිධ මත තුලින් විවාදයේ ස්වභාවය වෙනස් කරලීම අභියෝගයට බියවී පලායාමකි. ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිය හෝ අනුර කුමාර දිසානායක මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිවල පරස්පරයක් තිබේද? අනුර කුමාර දිසානායක මහතාගේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදක සුනිල් හදුන්නෙත්ති ප්‍රමුඛව කණ්ඩායමනම්, මෙම විවාදයෙන් ඔවුන්ට පලා නොගොස් ,විවාදයට එක්වන මෙන් යලිත් අභියෝග කරමි.

සමගි ජන බලවේගය පාර්ශවයෙන් මෙම විවාද දෙකෙහිම සම්බන්ධීකරණ කටයුතු පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් මා වෙත පවරා ඇති බවද, දැනුම් දෙනු කැමැත්තෙමි.