සාමකාමීව අරගලයේ යොදුණු පිරිසට අරලියගහ මන්දිරයෙන් ආපු මැරයන් ගේ පහර දීම් ගැන වහාම පරීක්ෂණයක් කර දඩුවම් ලබාදිය යුතු බවත් රටේ ආර්ථික ප්‍රශ්න වලට අමතරව අනවශ්‍ය ප්‍රශ්න මේ රජය ඇති කරගත් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“අද රටේ ජනතාව අහන දෙයක් තමයි ජනතාව ආරක්ෂා කරන්න බැරි තමන්ගේ මැති ඇමතිවරුන්ගේ ජීවිත, දේපල ආරක්ෂා කරන්න බැරි ජනාධිපතිවරයෙක් මොකටද කියලා .අපි දැක්කා රජය ජනතාවගේ දේපල ආරක්ෂා කරන්න ජීවිත ආරක්ෂා කරන්න තීරණය කළේ පැය 24ක් ප්‍රමාද වෙලා .ඒ තුල පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ජීවිත දේපල විනාශ වුනා අද මේ ප්‍රශ්නය අහන්නෙ ආණ්ඩුවේම අයයි.ලබන සතියේ හිතුවට වඩා විශාල ඡන්ද ප්‍රමාණයකින් විශ්වාසභංගය ජය ගන්න පුළුවන් කියලා අපි හිතනවා .

අපේ රටේ නීතිය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය විමසා තිබෙනවා අරලියගහ මන්දිරයෙන් ආපු මැරයන් ගේ පහර දීම් ගැන වහාම පරීක්ෂණයක් කරලා එයට සම්බන්ධ සියලු දෙනාට දඩුවම් දෙන්න කියලා .ඇත්තටම අපේ රට මුහුණ පා තිබෙන ආර්ථික ප්‍රශ්න වලට අමතරව අනවශ්‍ය ප්‍රශ්න මේ රජය ඇති කරගත්තා .අපි කවුරුත් දන්නවා ගෝල්ෆේස් විරෝධය ඉතාම සාමකාමී එකක් එය මාසයක් තිබුණා කිසිම ගලක් ගැහුවේ නැහැ .එය වියතුන් ඉන්න අරගල ව්‍යාපාරයක් .එය සම්පූර්ණ අරලියගහ මන්දිරයෙන් ආපු මැර කණ්ඩායම විසින් විනාශ කළා එයට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි .මම දැක්කා නීතිපතිවරයා නින්දෙන් නැගිටලා වගේ පරීක්ෂණ කරනවා කිව්වා අපි කියනවා මේ නිදොස් කොට නිදහස් සංකල්පයෙන් ඈත් වෙලා වැරදි කර අයට දඩුවම් දෙන්න එය පිටුපස ඉන්න සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන්න .ඇතැම් නීතිඥ මහත්වරු හිටපු ඇගමැතිවරයාටත් ,සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් දැනටත් ශේෂ්ඨාධිකරණය නඩු පවරල තිබෙනවා .නමුත් රජයෙන් මේ සම්බන්ධයෙන් පියවරක් ගත යුතුයි .”

යනුවෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසීය .