රෝහල් උපකරණ, සුහුරු පන්ති කාමර උපකරණ සහ බස් රථ ලබා දීම බෙදිල්ලක් කියමින් අපේ රටේ සමහර පුද්ගලයන් එයට විරුද්ධ වී තමාට විවිධ අන්වර්ත නාම පටබඳිමින් සිටින බවත් එසේ අන්වර්තනාම පටබඳින පුද්ගලයන්ගේ පාසල්වලට ද තමා බස් රථ ලබා දුන් බවත් එසේ පරිත්‍යාග කළ පසුත් එම බස් රථය අබලන් වී ඇති බවට බොරු ප්‍රවෘත්ති සමාජ ගත කරමින් කුහක ක්‍රියා සිදු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කවුරු හරි වැඩක් කරන විට අප රටේ සමහර පුද්ගලයන්ට බලා සිටිය නොහැකි බවත් කුහකකම ඊර්ෂයාව ඇති මේ පුද්ගලයන් මොන දේ කිව්වත් තමා ඇතුළු සමගි ජන බලවේගය ඕනෑම අවස්ථාවක රටේ අනාගතය ගැන, ඉදිරිපත් කරන විකල්ප ගැන විවාදයක් කිරීමට සූදානම් බවත් එම විවාදයට එන විට බලයක් නොමැතිව ජනතාවට කර ඇති සේවාව ගැනත් කතා කිරීමට එන ලෙසත් ඒ සඳහා තමා මෙන්ම සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව පවා සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

චරිත ඝාතන මඩ දේශපාලනය නොව රට ගොඩ නගන ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාද කිරීමට එන ලෙසත් තමා ඒ සඳහා කැමැත්තෙන් පැමිණෙමින් සමගි ජන බලවේගයේ රට ගොඩනගන වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 148 වැනි අදියර යටතේ අද පුත්තලම ආණමඩුව කන්නංගර ආදර්ශ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී විද්‍යාලයට අවශ්‍ය නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

දේශපාලනඥයෝ කයිවාරු ගැහුවට පාසල්වල බොන්න වතුර නැහැ

බංකොලොත් මේ රටේ පාසල් දූදරුවන්ට සුහුරු පන්ති කාමර උපකරණ බස්, සෞඛ්‍ය සේවය වෙනුවෙන් රෝහල් උපකරණ ලබා දෙන විට විරුද්ධ වන්නේ ඇයි ද කියා ගැටලුවක් පවතින බවත් සමහර පාසල්වල දරුවන්ට පානය කිරීමට පවා ජලය නොමැති වුවත් දේශපාලනඥයෝ මහ උජාරුවෙන් තමන්ගේ කයිවාරු ගසමින් සිටින බවත් තවදුරටත් කයිවාරු දේශපාලනය වලංගු නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ

අද සමගි ජන බලවේගය විසින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනයක්, මැද මාවතක්, තුන්වෙනි මාවතක් ඉදිරිපත් කර ඇති බවත් අන්ත දූෂිත ලුම්පන් ගජමිතුරු ධනවාදයත් නොව ලොවෙන්ම අසමත් වූ ප්‍රතික්ෂේප වූ සමාජවාදී කොමියුනිස්ම් වාදයත් නොවන මානුෂීය ධනවාදය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මැද මාවතක් ඉදිරිපත් කර ඇති මොහොතක මේ සඳහා දේශපාලනඥයෝ බය වී විවේචන කරන බවත් ඵල ඇති රුකට ගල් ගහන නිසා ඒවා තැකීමක් නොකරන බවත් ඔවුන්ට සමාජ සංවර්ධනය පැත්තෙන් සමගි ජන බලවේගයට සම විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කයිවාරු නොගහ සංවර්ධනය කරන්න එන්න

ඕනෑම අයකුට කයිවාරු ගහන්න, ප්‍රකාශ නිකුත් කරන්න, රැස්වීම් පවත්වන්නේ නොමැතිව තරගයට තමා සමඟ වැඩ කිරීමට එන ලෙසට අභියෝග කරන බවත් මේ මොහොතේ රටට අවශ්‍ය සේවයක් සහ විසඳුමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ය.

මහලොකු සමාජවාදීන්ගේ දරුවන් යන්නෙත් පෞද්ගලික විශ්වවිද්‍යාවලට

ඉංග්‍රීසි භාෂා කේන්ද්‍ර අධ්‍යාපනයට සමහර පුද්ගලයන් විරුද්ධ බවත් බස් බෙදන කොට බස් මෑන් කියන අය මෙන්ම සජිත් දන්නේ බෙදන්න විතරයි කියන මහා ලොකු සමාජවාදීන්ගේ දරුවන් පෞද්ගලික පාසල්වල පෞද්ගලික විශ්වවිද්‍යාවල, විදෙස් විශ්වවිද්‍යාවල ඉගෙන ගන්නා බවත් ඔවුන් තමන්ගේ දරුවන්ට වඩා රටේ දරුවන් ඉගෙන ගන්නවාට කැමති නොවන නිසා මහ පාරේ උද්ඝෝෂණ කරමින් රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහෝසි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාඩ්බෝඩ් සමාජවාදීන්ගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ගියත් රටේ දරුවන්ට ඉගෙන ගන්න පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට ඉඩ නොදී ඔවුන් උද්ඝෝෂණය කරන බවත් මේ කුහක ඊර්ෂයා කම නිසා රටේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බවත් මේ තත්ත්වය වෙනස් වී ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය රට තුළ ඇති කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 148 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1507ක් වැය කර තිබේ.