පල්ලෙකැලේ, දඹුල්ල සහ කෙත්තාරාම යන ක්‍රීඩාංගන 3ට අඩි 60×30 LED ස්ක්‍රීන් 3ක් ඇනවුම් කිරීමේ දී ක්‍රිකට් පරිපාලනය දැවැන්ත වංචනික ක්‍රියාදාම 3ක් සිදුකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (1) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

2023 ජුලි 14 වැනි දින මේ සඳහා ටෙන්ඩරය විවෘත කළත් ජුලි 13 වැනිදාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සඳහා ඩොලර් 29000ක් යවා ඇති බවත් මේ ටෙන්ඩර් එක සඳහා Million Laugh Entertainment, Imagine Entertainment, Atom Technologies සහ John Keells Automation යන ආයතන සහභාගී වුවත් මේ සඳහා අවසානයේ ඉදිරිපත් ඇත්තේ Million Laugh Entertainment සහ Imagine Entertainment කියන ආයතන 2 බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙහි දී Million Laugh Entertainment එකේ ඉල්ලුම වී ඇත්තේ මිලියන 360ක් බවත් Imagine Entertainment එකේ ඉල්ලුම මිලියන 335ක් බවත් එහි දී Imagine Entertainment හි ලිපිගොනුවල එක අත්සනක් නොමැති යැයි පවසා මෙම ටෙන්ඩරය Million Laugh Entertainment ආයතනයට මිලියන 25ක පාඩුවක් සහිතව ලබා දී ඇති බවත් එහි දී ලිපි හුවමාරුවක් සිදුව ඇති නමුත් සාධාරණයක් ඉටු නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම මේ මොහොතේ රෙගු නිලධාරීන් විසින් මේ ක්‍රීඩාංගන 3ට ගෙන ආ LED තිර සම්බන්ධ පරීක්ෂණයක් සිදු කරන බවත් එයට හේතුව මේ සඳහා බදු ලෙස ගෙවා ඇත්තේ ලක්ෂ 65ක් පමණක් බවත් ඩොලර් 29000 කේන්ද්‍ර කර ගෙන නියමිත ගාණට වඩා අඩුවෙන් දමා බදු පැහැර හැර ඇති බවත් අවම වශයෙන් මේ 3ට බදු ලෙස ඩොලර් 150000ක් ගෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජ්‍ය ආදායම නැති නිසා වැට් බදු වැඩි කර ජනතාව මත අධික බදු බර පටවන ගමන් මෙවැනි දූෂිත ආයතන විසින් රජයට ලැබිය යුතු ආදායම හොරා කන බවත් මේ දුෂිත කල්ලිය ඉවත් කරන්න පාර්ලිමේන්තුව ඒකමතිකව තීන්දු කළත් ඒ කිසිවක් ක්‍රියාත්මක නොවී ඇති බවත් මේ තොරතුරු ප්‍රකාශ කරන විට එයට බාධා නොකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය