මුදල් අමාත්‍යවරයා විසින් ඊයේ (12) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය වාර්තාව පුස්සක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

ඒ,අද (13) අයවැය දෙවන වර කියවීමේ විවාදය ආරම්භ කරමිනි.

මැදමුලන රාජපක්ෂ පරම්පරාවේ අසාර්ථකභාවය ඊයේ දින බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මුළු ලෝකෙටම පෙන්වූ බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

අයවැයෙන් ඉදිරිපත් කළ දත්ත කිසිසේත් විශ්වාස කළ නොහැකි අතර ඊට හේතුව 2019 ආපු දා පටන් ඔවුන් දත්ත විජ්ජා කළ නිසා යැයි ද හෙතෙම සඳහන් කරන ලදී.

මේ අතර ඉතිහාසය තුළ මෙතරම් ජනතාව මුලා කළ යුගයක් මතකයේ නැති බවයි හර්ෂ ද සිල්වා මහතා කියාසිටියේ.

”ලංකාවට සෞභාග්‍ය ගේනවා කිව්වා. සාම්ප්‍රදායික දේශපාලනයෙන් එහා ප්‍රතිපත්තිගරුක ජනතා හිතවාදී වැඩපිළිවෙලක් හරහා රටේ ජනතාවගේ ආර්ථිකය දියුණු කරනවා කිව්වා. මහා බලාපොරොත්තු ගොන්නක් දුන්නා. කොටි පරද්දනවා වගේ දුප්පත්කම පරද්දනවා කිව්වා. වැඩකරන විරුවට වැඩේ කරන්න ලක්ෂ 69ක් ජන්දේ දුන්නා. පිටරටවල් වලින් ටිකට් අරන් ජන්දේ දෙන්න සමහරු ලංකාවට ආවා. මොකද වුණේ? ජන්දෙන් දිනුවහම කිව්වා වැඩ කරන්න නම් තුනෙන් දෙකක් ඕනේ කිව්වා. අයියා අගමැති කරන්න ඕනේ කිව්වා. මල්ලි මුදල් ඇමති කරන්න ඕනේ කිව්වා. එතුමාගේ ඇමරිකන් පුරවැසිකම තියාගෙන මේ වැඩේ කරන්න 20 වෙනි සංශෝධනය ඕනේ කිව්වා. ඒ ඔක්කොම ලබාගන්න තනි සිංහල ආණ්ඩුව මුස්ලිම් මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ට වරප්‍රසාද දීලා ඒක දිනාගත්තා. දැන් ජනාධිපතිතුමා කියනවා අපි අසාර්ථක වුණා. අපිට වැරදුණා. අපිට බැරිවුණා. නොයෙකුත් නිදහසට කාරණා. ටික දවසකට කලින් කිව්වා මට මේවා තේරෙන්නේ නැහැ කියල. දැන් විපක්ෂයට බනිනවා උදව් කරන්නේ නැහැ කියල. ඔය ඉදිරිපත් කරන නිෂ්පාදන ආර්ථිකය කථානායකතුමනි වචන සෙට් එකක් විතරයි.” යනුවෙන් මන්ත්‍රීවරයා සිය අදහස් දැක්වීම සිදුකළේය.