අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයින් අලූත් අවුරුද්ද සමරණ රූපවාහිනී වැඩසටහන සදහා රුපියල් මිලියන දහයක් වෙන් කිරීමට රූපවාහිනී සංස්ථාව තීරණය කර තිබේ. සේවක වැටුප් ගෙවීමටවත් ආදායමක් නොමැතිවීම නිසා භාණ්ඩාගරයෙන් මුදල් ලබාගෙන වැටුප් ගෙවමින් සිටියදී මෙසේ අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයින් කාල්ටන් නිවසේ අලූත් අවුරුදු සමරන ආකාරය රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට රුපියල් කෝටියක මුදලක් වෙන් කර ඇත.

මෙම මුදල් වෙන් කිරීම සදහා වන අනුමැතිය ලබාගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලයට පත‍්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන අතර දැඩි මූල්‍ය අර්බුදයක් පවතින අවස්ථාවේදී එවැනි යෝජනාවකට අනුමැතිය ලබාදීමට නොහැකි බව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකු පවසා තිබේ. එහෙත් අගමැතිවරයාගේ ඉල්ලීම ඉවත දැමීමට නොහැකිවීම නිසා ඔවුන් දැඩි අර්බුදයකට පත්ව සිටී.

මේ අතර තරු සමග අවුරුදු නමින් අලූත් අවුරුදු වැඩසටහනක් විකාශය කිරීම සදහා රුපියල් ලක්ෂ පනහක අනුග‍්‍රාහකත්ව මුදලක් ලබාදීමට මැලිබන් ආයතනය කැමැත්ත පළ කර ඇත. එම වැඩසටහන විකාශය නොකර රාජපක්ෂ පවුලේ අලූත් අවුරුද්ද සමරන ආකාරය පෙන්වන වැඩසටහනට එම මුදල ලබාදෙන ලෙසට රූපවාහිනී සංස්ථාවේ බලධාරින් ඉල්ලීමක් කර තිබේ. එහෙත් එම ඉල්ලීමට මැලිබන් ආයතනයෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බවද, රූපවාහිනී ආරංචිමාර්ග සදහන් කරයි.

මේ අතර රූපවාහිනී සංස්ථාවේ නීතිමය කටයුතු සදහා සංස්ථාවේ නීතීඥයින් සිටියදී අධික ගාස්තුවක් ගෙවා බාහිර නීතීඥයින් ලබාගනිමින් සිටින බවද, රූපවාහිනී සංස්ථාවේ ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.