ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිබදව වන පාර්ලිමේන්තු විවාදයෙන් සැගවී සිටීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සූදානමින් සිටින බවට දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් නගන ප‍්‍රශ්ණවලට පිළිතුරු නොදිය යුතු බවට වන ස්ථාවරයේ බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා සිටින අතර ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්ණ කරන ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සමගද ඔහු එතරම් හොද හිතක් පවත්වාගෙන නොයන බවද අනාවරණය වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු නැති බවට බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා දැඩි ස්ථාවරයක සිටින නමුත් අගමැති මහින්ද රාජපක්ෂ ඊට පරස්පර මතයක සිටින බවද, විපක්ෂය විසින් ඉල්ලා ඇති විවාදය ලබාදිය යුතු බවට වන ස්ථාවරයේ ඔහු සිටින බවද දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඒ අනුව මෙම විවාදය සදහා දිනයක් වෙන් කරන ලෙසට අගමැතිවරයා ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු වෙත උපදෙස් ලබාදී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් කඩිනම් විවාදයක් ලබාදෙන ලෙසට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබුණි.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ රටේ මූල්‍ය තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේ්න්තුව දැනුවත් කිරීමට කටයුතු නොකරන බවත්, මාස තුනකින් ඔහු පාර්ලිමේන්තුවට පැමිණ අදහස් දක්වා නොමැති බවත්, හර්ෂ ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු විපක්ෂයේ මන්ත‍්‍රීවරු පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.